hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 2:07



රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමෙන් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් සලසාගත හැකි බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරල් සමන් රත්නප්‍රිය මහතා පැවසුවා.

ලෝකයේ දියුණු රටවල් අධ්‍යනය කිරීමේදී රාජ්‍ය ව්‍යාපාර සිදු කරන රටවල් පසුගාමී ආර්ථිකයක පසුවන බවත් රජය ව්‍යාපාර නොකරන රටවල් සංවර්ධනය වී ඇති බවත් රත්නප්‍රිය මහතා පෙන්වා දුන්නා.

ඔහු මේ බව සඳහන් කළේ ‘නව සංවර්ධන ප්‍රවේශයක් සඳහා රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම‘ මැයෙන් මුදල් අමාත්‍යාංශයේදී පැවැති විද්වත් සම්මන්ත්‍රණයට එක්වෙමින්.

රට ආර්ථික වශයෙන් ඉතා අසීරු තත්ත්වයක පවතින අවධියක රටේ ආර්ථිකයට උසුලා ගත නොහැකි බරක්වන පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් කළ යුතු දෑ පිළිබඳ වෘත්තීය සමිති නායකයින්, සිවිල් සංවිධාන ක්‍රියාධරයන්, මාධ්‍යවේදීන් ඇතුළු වැඩබිමේ ජනතාව දැනුවත් කිරීම සඳහා මෙම සම්මන්ත්‍රණය සංවිධාන කර තිබුණා.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවත්වාගෙන යාම වෙනුවෙන් 2010-2020 යන දස අවුරුදු කාලය තුළ රුපියල් බිලියන 333ක් තරම්වූ අති විශාල මහජන මුදලක් වැය කර ඇති බවත් එමෙන්ම මහජන බදු මුදල් මේ තරම් ප්‍රමාණයක් වැය කරමින් පවත්වාගෙන ආ මෙම රාජ්‍ය ව්‍යවසාය යම් ලාභ දායි ව්‍යාපාරයක් ලෙස ගොඩනගා ගත්තේ නම් එමගින් වසරකට රුපියල් බිලියන 30කට ආසන්න මුදලක් ඉතිරි කර ගන්නට හැකියාව තිබූ බවත් රත්නප්‍රිය මහතා එහිදී සඳහන් කළා.

සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීමට රජය සූදානම්දැයි වෘත්තීය සමිති නායකයෙකු කළ විමසුමට පිළිතුරු දෙමින් සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ , ඒ සඳහා හෝ එවැනි ක්‍රියා මාර්ගයක් සඳහා කිසිදු අදහසක් රජයට නොමැති බවයි.

එසේම මෙම වසරට අදාළ අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවට වෙන් කළ මුදලටත් වඩා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස තවත් සියයට එකක් වැඩිපුර ලබන වසරට ලබාදීමට, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇති බව ඔහු අනාවරණය කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: