hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 08, පෙ.ව. 12:08



සියලු භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් ඇති පසුබිමක සහ රජය විසින් අය කරනු ලබන සියලුම ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් මේ වනවිට ආහාරපාන සහ රැකියාවට යාමට ඒමට මුදල් නොමැති බව රාජ්‍ය සේවකයින් පෙන්වා දෙනවා.

වෘත්තීය සමිති නියෝජිතයින් පෙන්වා දුන්නේ රාජ්‍ය සේවයේ ඇතැම් සේවකයින් රුපියල් ලක්ෂ ගණනින් වැටුප් ලබමින් සිටියත් 16 ලක්ෂයකට අධික රාජ්‍ය සේවකයින් අතර අතිශය බහුතරයක් ලබන්නේ මාසිකව රුපියල් 40,000කට අඩු වැටුපක් බවයි.

රාජ්‍ය සේවයේ සිටින රියදුරන්, කාර්යාල කාර්ය සහයකයින් හා විධායක සේවා ගණයට අයත් නොවන නිලධාරීන් සියලු දෙනා රුපියල් 50,000කට අඩු මාසික වැටුපක් ලබන අතර ඉන් ලබාගෙන ඇති ණය පහසුකම් සඳහා වන වාරික කපා ගැනීමෙන් පසු අතට ලැබෙන්නේ සුළු මුදලක් බවයි. ඉන් රජය විසින් අයකරනු ලබන බිල්පත් වන විදුලිය හා ජලය සඳහා වන බිල්පත් සඳහා මේ වනවිට මාසිකව රුපියල් 10,000කට අධික මුදලක් වැයවන බවත්, ගෑස් සිලින්ඩරයක් සඳහා රුපියල් 4,000ක් පමණ වැයවන බවත් එම වෘත්තිය සමිති පෙන්වා දෙයි.

එසේම බොහොමයක් නවක හා මැදි මට්ටමේ රාජ්‍ය සේවකයින් තවමත් කුලී නිවාසවල රැඳී සිටීම හේතුවෙන් මාසිකව එම මුදලද ගෙවිය යුතුව ඇති බවත් ඒ වියදම් දරා ගැනීමෙන් පසු ආහාරපාන, දරුවන්ගේ අධ්‍යාපනය හා රැකියාව සඳහා ගමන් වියදම් ඇතුළු වියදම් සඳහා මුදල් ඉතිරි නොවන බව වෘත්තීය සමිති දැඩිව පෙන්වා දෙයි.

එසේම බහුතර රාජ්‍ය සේවකයින් සඳහා නිවසට ආසන්න සේවා ස්ථානයක් නොමැති වීමෙන් හා දින 5ම රැකියාව සඳහා යාමට සිදුවීමෙන් දෛනිකව රුපියල් 500ක් පමණ ගමන් ගාස්තු ලෙස වැය කිරීමේ හැකියාවක් මේ වනවිට කිසිසේත්ම නොමැති බව ඔවුන් පෙන්වා දෙනවා.

රාජ්‍ය සේවයේ ඇතැම් සේවා එනම් දුම්රිය සේවය, රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන මෙන්ම වරාය අධිකාරිය, විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව වැනි අර්ධ රාජ්‍ය ආයතන හා රාජ්‍ය බැංකුවල සේවකයින් රාජ්‍ය සේවයේ සිට අවම ජීවන තත්වය පවත්වාගැනීමට ප්‍රමාණවත් වැටුපක් ලබමින් සිටින බවත්, එම ආයතනවල සුළු සේවකයින් පවා රුපියල් ලක්ෂයකට අධික මාසික වැටුපක් ලබන තත්වයක් පවතින බවත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති පෙන්වා දෙයි.

ඉහත කී අර්ධ රාජ්‍ය ආයතන සුළු සේවකයින් ලබන වැටුප රජයේ දෙපාර්තමේන්තුවල ඉහළ නිලධාරීන්ටවත් නොලැබෙන අසාධාරණ වැටුප් ප්‍රතිපත්තියක් පවතින බවත්, එවැනි වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා කරනු ලැබූ ඉල්ලීම් රජය කිසිවිටෙක සැළකිල්ලට ගෙන නොමැති බවත් වෘත්තීය සමිති පෙන්වා දෙනවා.

එබැවින් වහාම රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 20,000කින්වත් ඉහළ නැංවෙන පරිදි වැටුප් විෂමතා ඉවත් කරමින් නව වැටුප් ක්‍රමයක් හඳුන්වාදෙන ලෙසත්, එතෙක් සේවා ගණය නොසළකා සියලු රාජ්‍ය සේවකයින් සඳහා රුපියල් 20,000ක දීමනාවක් වැටුපට එක් කරන ලෙසත් වෘත්තීය සමිති රජයට යෝජනා කර සිටිනවා.

වහාම එවැනි පියවරක් නොගතහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවත්, එම වෘත්තීය ක්‍රියාමාර්ග ජනතා ආශිර්වාදය සහිතව ක්‍රියාත්මක කරන බවත් වෘත්තිය සමිති පවසනවා. වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ මෙරට පවුල් ලක්ෂ 50න් වැඩිම පවුල් ගණනක් යැපෙන්නේ රාජ්‍ය සේවයෙන් බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: