hit counter

2026 අගෝස්‍තු මස 18 වන අඟහරුවාදා

2026 අගෝස්‍තු 01, පෙ.ව. 12:10



 අධිකරණ පද්ධතිය තුළ යුක්තිය සහ සාධාරණත්වය ඉටු කිරීමේ ක්‍රියාවලිය වඩාත් වේගවත් කිරීමේ අරමුණින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය පියවර ගනිමින් ඇති බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත විශේෂ අදහස් දැක්වීමක් සිදු කරමිනි.

රටේ පවතින අධිකරණ සංඛ්‍යාව මෙන්ම විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව ද ඉහළ නැංවීමේ අවශ්‍යතාවය පවතින බවත්, ඒ සම්බන්ධයෙන් රජය මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම හරහා පළපුරුදු විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබා ගනිමින් නඩු ප්‍රමාදය අවම කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයාගේ අදහසයි.

“අපි මේ වන විටත් අධිකරණ සංඛ්‍යාව සහ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. ඒ වගේම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස යම් ප්‍රමාණයකින් දීර්ඝ කරලා, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට අවශ්‍ය ක්‍රමවේද සකස් කරනවා. මෙහි ප්‍රතිඵල මේ වන විටත් ලැබෙමින් පවතිනවා. නඩු විභාග කිරීමේ වේගය ඉහළ ගොස් තීන්දු ලබා දීම කඩිනම් වී තිබෙනවා,” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අවංකවම රට ගැන හැඟීමක් ඇති ජනතාවට මෙය ඉතා සතුටුදායක පුවතක් වනු ඇති බවත්, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම රජයේ මූලික අරමුණ බවත් සමන්ත විද්‍යාරත්න මහතා මෙහිදී අවධාරණය කළේය.

පවතින නීතිමය රාමුව තුළ ජනතාවට උපරිම සාධාරණයක් ඉටු කිරීම සඳහා අවශ්‍ය පසුබිම මේ වන විට සකස් වෙමින් පවතින බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: