hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 07, පෙ.ව. 9:41



කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ එකිනෙකට යාව පිහිටි තෙමහල් හා දෙමහල් ගොඩනැගිලි දෙකක පිහිටි පංති කාමර කිහිපයක ඇති වූ ඉරිතළායෑම් රැසක් හේතුවෙන් එම ගොඩනැගිලි තාවකාලිකව වසා දමා එහි සිටි 06, 07, 08, 10 හා 11 ශ්‍රේණිවල සිසුන්ට නිවාඩු ලබා දී තිබෙනවා.

අදාළ ගොඩනැගිල්ලේ පංති කාමර 18ක් පමණ පවත්වාගෙන ගොස් තිබෙන අතර ඒවාහි සිසුවියන් අටසීයක පමණ පිරිසක් අධ්‍යාපනය ලබමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය දිනවල පැවැති අධික වර්ෂාව හේතුවෙන් ගොඩනැගිලිවල ස්ථාන රැසක් ඉරිතළා යෑම හේතුවෙන් එහි පංති කාමරවල අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියන්ට පාසල් නොඑන ලෙස පෙරේදා (05) පස්වරුවේ එහි පාලනාධිකාරිය වට්ස් ඇප් පණිවිඩයක් මගින් ද දැනුම් දී ඇත.

අදාළ ගොඩනැගිල්ල නිරීක්ෂණය කිරීමෙන් පසු ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් පරීක්ෂණයක් සිදුකර ගොඩනැගිල්ලේ තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීම සුදුසු බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ ප්‍රධානි ඉන්දික රණවීර මහතා දැනුම් දී ඇත.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනයේ නිලධාරින් කණ්ඩායමක් ඊයේ (06) එම ගොඩනැගිල්ල පරීක්ෂා කළ බවත් වැඩිදුරටත් එහි තත්ත්වය නිරීක්ෂණය කර වාර්තාවක් ලබාදෙන තෙක් ගොඩනැගිල්ලේ පංති පැවැත්වීම අවධානම් යැයි ඔවුන් දැනුම් දුන් බවයි, ගොඩනැගිලි පරීක්ෂා කළ මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් මහතා වැඩි දුරටත් කියා සිටියේ.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා වීම වැළැක්වීම සඳහා අදාළ ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය පංතිවල අධ්‍යාපනය ලැබූ සිසුවියන් මාවිල්මඩ රිෂිකලා සෞන්දර්ය විද්‍යාලයට හා මාවිල්මඩ විදුහලට යොමුකර පංති පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: