hit counter

2026 ජූනි මස 12 වන සිකුරාදා

2026 ජූනි 12, ප.ව. 2:29



බාලවයස්කාර දැරියක් බරපතළ ලෙස අපයෝජනය කළ බව කියන සිද්ධියට අදාළව චෝදනා ලබා සිටින හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට DNA පරීක්ෂණයක් සඳහා රුධිර සාම්පල ලබාදෙන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා අද (12) නියෝග කළේය.

ඒ අනුව, එළඹෙන ජූනි 16 වැනිදා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත පැමිණ රජයේ රස පරීක්ෂකවරයාට තම රුධිර සාම්පල ලබාදෙන ලෙස සැකකාර හිමියන්ට වැඩිදුරටත් නියෝග කර ඇත.

නිට්ටඹුව පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවක් සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ, අධිකරණ නියෝගයකට අනුව 2026 මැයි 4 වැනිදා DNA පරීක්ෂණයක් සඳහා අදාළ නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබූ බවය.

එම නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කර තිබුණේ, අදාළ දැරිය විසින් වළ දමා සඟවා තිබියදී සොයාගත්, රුධිරය තැවරී ඇතැයි සැක කෙරෙන ඇඳුම් බවද පොලිසිය සඳහන් කළේය.

එම ඇඳුම් සම්බන්ධයෙන් සිදුකළ DNA පරීක්ෂණයේදී DNA සාධක අනාවරණය වී ඇති බව රජයේ රස පරීක්ෂක වාර්තාව මගින් තහවුරු වී ඇතැයි පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.

එම DNA සාධක සැකකාර හිමියන්ගේ ජීව විද්‍යාත්මක සාම්පල සමඟ සැසඳීම සඳහා රුධිර සාම්පල ලබාගැනීම අවශ්‍ය බව පොලිසිය අධිකරණයට කරුණු දක්වා ඇත.

ඒ අනුව, දැරියගේ ඇඳුම්වලින් හඳුනාගත් DNA සාධක සහ සැකකාර හිමියන්ගේ රුධිර සාම්පල අතර ගැළපීමක් පවතින්නේද යන්න තහවුරු කර ගැනීම සඳහා රුධිර සාම්පල ලබාදෙන ලෙස නියෝග කරන මෙන් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබිණි. 

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා රුධිර සාම්පල ලබාදීමට නියෝග කළ අතර, ඉන් අනතුරුව සිදුකරන DNA පරීක්ෂණයේ වාර්තාවද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රජයේ රස පරීක්ෂකවරයාට ද නියෝග කර ඇත.

මෙම සිද්ධියට අදාළව චෝදනා ලබා සිටින පල්ලේගම හේමරතන හිමියන් මීට පෙර බන්ධනාගාරගත කර සිටි අතර, පසුව දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබුණි.