hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 09, පෙ.ව. 12:05



වෘත්තිකයින් මත බදු පනවා රටට ආදායම් උපයා ගැනීම වෙනුවට මත්පැන් කර්මාන්තය තුළින් රටට අහිමි වන බදු ප්‍රමාණය නැවත ලබා ගත හැකි නම් රට හැර යන වෘත්තිකයින් රට තුළ රඳවා ගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

මත්පැන් බෝතල් මත අලවනු ලබන ව්‍යාජ ස්ටිකර් ජාවාරම මගින් වසරකට රුපියල් බිලියන 80 සිට 100 දක්වා මුදලක් රටට අහිමි වන බවයි ඔහු පැවසුවේ. 

ජයේ බදු ආදායම වැඩි කරගැනීම සඳහා සමගි ජන බලවේගය විසින් විකල්ප යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.

උපයන විට ගෙවීමේ බද්දෙන් ආණ්ඩුව බලාපොරොත්තුවන බිලියන 100 ක බදු අදායම සොයා ගැනීමට සහ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් රජයට ලැබෙන බදු ආදායම වැඩි කර ගැනීමට විපකල්ප යෝජනා කිහිපයකුයි එලෙස සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇත්තේ.

එම යෝජනා ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ උපයන විට ගෙවීමේ බද්ද සංශෝධනය කර රජය අපේක්ෂිත බදු ආදායම ලබාගැනීමට හැකි බවයි.

ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජනබලවේගය ඉදිරිපත් කරන විකල්ප යෝජනා අනුව උපයන විට ගෙවීමේ බද්ද සංශෝධනය කිරීමෙන් රජයට වාර්ෂිකව බිලියන 83 ත් 120 ත් අතර බදු ආදායමක් උපයාගැනීමට හැකි බවයි මන්ත්‍රීවරයා සදහන් කරන්නේ.

‘‘උද්ධමනට සියයට දෙකකින් අඩුවෙලා කියලා කට්ටිය කියනවා. ඒක ඇත්ත. උද්ධමනය කියන්නේ බඩු මිල ඉහළ යෑමේ වේගය. බඩුමිල අඩුවෙලා නෑ. බඩුමිල ඉහළ යෑමේ වේගය තමයි අඩුවෙලා තියෙන්නේ. සියයට 95 කින් කෑම මිල ඉහළ ගියා.ඒක අඩුවුණේ නෑ. උද්ධමනට සෘණ වුනොත් කියන්න පුලුවන් බඩු මිල අඩුවෙනවා කියලා. ධන 70 කින් උද්ධමනය වැඩිවුණා බඩුමිල වැඩිවුණා. සෘණ 70 කින් අඩුවුණේ නැනේ. එහෙම වුනොත් තමයි බඩු මිල අඩුවෙන්නේ. බඩු වැඩිවුණ මිල එහෙම්ම තියෙනවා.

වගකියන විපක්ෂයක් විදිහට රජයට ගන්න බදු අඩුකරගන්න කියලා අපිට රජයට කියන්න බෑ. විපක්ෂය විදිහට අපි දිගටම කියපු දෙයක් තමයි රජයේ බදු ආදායම අඩුවෙලා කියන කාරණය.

ගෝඨාභයගේ අමනෝඥ ක්‍රියා නිසා රුපියල් බිලියන 500 ත් 600 ත් අතර මුදල් ප්‍රමාණයක් රජයට අහිමිවුණා. ඒ බදු ටික අයකරගන්න කබ්රාල්, ජයසුන්දරලාගේ බල කිරීමට රාජපක්ෂලාගේ නොදන්නකම උඩ දිගින් දිගටම සල්ලි අච්චු ගැහුවා. එහෙම සල්ලි ගහපු නිසා රට කඩන් වැටුණා.

අපේ වගේ රටක දළ දේශිය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 20 ක්වත් බදු තියෙන්න ඕන. රාජපක්ෂලාව මිනිස්සු එලවනකොට රටේ බදු ආදායම සියයට 7 ට වැටිලා තිබුණා.

කවුරුත් කියන්නේ නෑ බදු ගහන්න එපා කියලා. නමුත් බොහො දෙනා කියන්නේ අසාධාරණ ලෙස බදු ගහන්න එපා කියලා. බදු එකතු කර ගන්නේ නැති පිරිසගෙන් බදු ගන්න කියලයි ජනතාව කියන්නේ.

මේ පිළිබඳව සමගි ජන බලවේගය විශ්ලේෂණය කළා.රජය අපේක්ෂිත බදු ආදායම ලබාගෙන උපයන විට ගෙවීමේ බද්ද සංශෝධනය කරන්න පුලුවන්ද කියලා සමගි ජන බලවේගය සොයා බැලුවා. ඒක කරන්න පුලුවන්. ආණ්ඩුව කිව්වා උපයන විට ගෙවීමේ බද්ද හරහා රුපියල් බිලියන 68 ක බදු එකතු කරගන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා කියලා. පස්සේ කිව්වා බිලියන 100 ක් එකතු කර ගන්න බලනවා කියලා.

උපයන විට ගෙවීමේ බද්දෙන් රජය 2023 සැප්තැම්බර් වනවිට බිලියන 107 ක් ලබාගෙන තියෙනවා. අවුරුද්ද අවසානයේ රජයට රුපියල් බිලියන 125 ක් ලබාගන්න පුලුවන් වෙනවා. නමුත් උපයන විට බද්ද ගෙවලා තියෙන්නේ සියයට 70 යි. උපයන විට බද්ද සියයට සියයක් ගෙවලා තිබුණ නම් රජයේ බදු ආදායම රුපියල් බිලියන 175 ක් දක්වා ඉහළ යනවා. රජය හිතුවේ නැ බිලියන 107 ක් ලැබෙයි කියලා. උපයන විට බද්ද නැවත සලකා බලන්න ආපස්සට ගන්න කියන ඉල්ලීම සාධාරණ නෑ.

මාසයකට ලක්ෂයේ සිට එක්ලක්ෂ පනස්දහස දක්වා වැටුප් ලබන පිරිසට සියයට 6 ක බද්දක් ඊළඟ පහස් දාහට සියයට 10 ක් ඊළඟ පනස්දහසට සියයට 14 ක් ඊලඟ පනස්දහසට සියයට 16 ක් ඊළග පනස්දහසට සියයට 20 ක් 22 ක් 24 ක් සහ ලක්ෂ 5 න් උඩ සිට දිගටම සියයට 24 ක් යන ආකාරයට බදු අය කළ යුතු බව අපි යෝජනා කළා.

මේ ආකාරයට බදු එකතු කළහොත් දැන් තිබෙන තත්ත්වය මත සියයට 70 ට අනුව බිලියන 83 ක් සහ සියයට සියයක් බදු ආදායම ලැබුණොත් රුපියල් බිලියන 120 ක් හොයාගන්න. මාසෙට රුපියල් ලක්ෂ 7 ට වඩා හොයන අයට සියයට 15 ක් ඔවුන් ගෙවන බද්දට අය කළොත් රුපියල් බිලියන 91 ක ආදායමක් රජයට හොයාගන්න පුලුවන්. ආණ්ඩුව බලාපොරොත්තු වන රුපියල් බිලියන 100 හොයා ගන්න පුලුවන්.

ප්‍රධාන විපක්ෂය ලෙස අපි කැමති ප්‍රතිපත්ති විකල්ප ඉදිරිපත් කරන්න. මේ ඉදිරිපත් කළේ විකල්ප ප්‍රතිපත්තියක්. සමගි ජන බලවේගයට මේක කරන්න පුලුවන්. සියයට 24 උපරිම බද්ධට යටත්ව ලක්ෂ 7 ට වැඩි වැටුප් ගන්න අයට සියයට 15 ක් ඔවුන් ගෙවන බද්දෙන් අයකරගෙන බලාපොරොත්තුවන බිලියන 100 හොයන්න පුලුවන්. අපේ බදු ප්‍රතිපත්තියෙන් භාණ්ඩාගාරයට පාඩු වෙන්නේ නෑ.

ලක්ෂයට වඩා වැටුප් ගන්න අයට උපයන විට බද්ද කපාගෙන තමයි ඔවුන්ට තමන්ගේ වැටුප ලැබෙන්නේ. තව කණ්ඩායමක් ඉන්නවා ස්වෙච්ඡාවෙන් රජයට බදු ගෙවන්න ඕන පිරිසක්. ස්වෙච්ඡාවෙන් තම ආදායමට අනුව බද්ද ගෙවිය යුතු සමහර පුද්ගලයින් බදු ගෙවන්නේ නෑ. ලංකාවේ වැඩියෙන්ම බදු පැහැර හරින්ගේ ටියුෂන් ගුරුවරු.

උපයන විට ගෙවීමේ බද්දෙ තිබෙන ප්‍රතිශතවල ප්‍රශ්නයක නෑ. ප්‍රශ්නය තිබෙන්නේ උපයට විට බද්ද ගෙවනවද නැද්ද කියන එකේ ගැටලුවක්. උපයන විට බද්ද සඳහා විපක්ෂය ඉදිරිපත් කළ යෝජනාවට අනුව බදු ප්‍රතිශතය පහළ වැටෙනවා. අපි බලාපොරොත්තු වෙනවා දිරිගැන්වීමක් විදිහට දකියි කියලා.

රුපියල් බිලියන 100 ක් 80 ක් අරක්කු බෝතල්වලට හොර ස්ටිකර ගැසීමෙන් අහිමිවෙනවා කියලා වාර්තා කිහිපයක තිබෙනවා. මත්පැන් බෝතල්වල ආරක්ෂක ස්ටිකර් අලවන්න කියලා රජය 2019 තීරණය කළා. නමුත් කිසිම ඇගයීමක් නොකළ ස්ටිකර් අලවන්න කියලා තිබෙනවා.

අපි සොයාබැලුවට පස්සේ හොයාගන්න පුලුවන් වුණා සියයට 85 ක් ගහන්නේ ඩිජිටල් ස්ටිකර්. සියයට 15 යි සාමාන්‍ය ස්ටිකර් අලවන්නේ. සුරාබදුවලින් සියයට 95 ක් හමුවෙන්නේ නීත්‍යානුකූලව ඩිජිටල් ස්ටිකර් ගහන සමාගම් වලින්. අනිත් සමාගම් වලින් ලැබෙන්නේ සියයට 5 යි. අවුරුද්දකට බිලිනයක් පමණ ස්ටිකර්වලට වියදම් කරනවා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ තිබුණ ස්ටිකර් ගැන සොයා බැලුවට පස්සේ බෝතල් ලක්ෂයක් අත්අඩංගුවට ගත්තා. ඒ බෝතල් වල තිබිලා තියෙන්නේ ආරක්ෂක ස්ටිකරයට සමාන ස්ටිකරයක්. අපි අහනවා මොන සමාගමේ අරක්කු බෝතල්ද සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගත්තේ කියලා.

නිල වශයෙන් ස්ටිකරයක් බෝතල්වල අලවනවා පස්සේ ඒ වගේ ස්ටිකර් සෙට් තවත් 10 ක් 15 ක් ගහනවා. එකම නොම්බරය තිබෙන බෝතල් තවත් 10 ක් 15 ක් තියෙනවා. ඒ ස්ටිකරය ඇත්ත ස්ටිකරයක්.

කාලේ බෝතලේකින් රුපියල් 360 ක බද්දක් ආණ්ඩුවට යන්න ඕන. බෝතලයකින් රුපියල් 1500 ක් ලැබෙන්න ඕන. නමුත් හොරට ස්ටිකර් ගැසීමෙන් රජයට බදු ආදායමක් ලැබෙන්නේ නෑ.

රජයට අහිමිවෙන රුපියල් බිලියන 80 ක් 100 ක් රජයට අහිමි වෙන වැඩේටත් විකල්ප ඉදිරිපත් කරන්න අපි කැමතියි. ඩිජිටල් ස්ටිකරය විතරක් අරක්කු බෝතලයට ගහනවානම් හොදයි. ඒක හොර කරන්න බෑ. ඩිජිටල් ස්ටිකරය පේන්න සකස් කරන්න. අපි යෝජනා කරනවා ඩිජිටල් කෝඩ් 2 ක් අරක්කු බෝතලේ ගහන්න කියලා.

ඉන්දියානු සමාගම අරක්කු බෝතල් වල ගහන ස්ටිකරයට රුපියල් 1.90 ක් යනවා. ඩජිටල් ස්ටිකරයේ වියදම ශත 20 යි.නමත් ඩිජිටල් ස්ටිකරයට රුපියල් ශත 20 වුණාට 1.90 ක් ම ගන්නවා.‍ මේ අතර සියයට 85 ක් ගහන්නේ සාමාන්‍ය ස්ටිකරය. මේ ආකාරයට අමතරව ගෙවපු ගාන ඉන්දියානු සමාගමෙන් අය කර ගන්න ඕන.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: