hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 26, ප.ව. 8:22



පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබූ මුදල් අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරීන් එහි නොපැමිණීම සම්බන්ධයෙන් කමිටුවේ දැඩි අප්‍රසාදය පලවී තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයට අදාළ කරුණු සාකච්ඡාවට ගැනීම සදහා නිලධාරීන් කැඳවන විට පාර්ලිමේන්තුවට වගකියන අමාත්‍යාංශ ප්‍රධානීන් කාරක සභාව හමුවේ පෙනී සිටිය යුතු බව මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කර ඇති බව වාර්තාවේ.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතේ 10 වැනි වගන්තිය යටතේ නිකුත් කරන ලද 2023 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව සලකා බැලීම සදහා රජයේ මුදල් පිළිබද කාරක සභාව ඊයේ කැදවා තිබුණා.

පැමිණ සිටි නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද සංඛ්‍යාලේඛන මත පදනම්ව රාජ්‍ය මූල්‍ය තත්ත්වය, ආර්ථික කාර්ය සාධනය ආදී කරුණු පිළිබඳව කමිටු සාමාජිකයෝ විවිධ ප්‍රශ්න මතු කර තිබෙනවා.

ව්ශේෂයෙන් 2023 පළමු කාර්තුවේ සියයට 11.5 ක ආර්ථික සංකෝචනය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවුණා.

එසේම ජනාධිපතිවරයාගේ ආර්ථික දැක්මට අනුකූලව 2048 වර්ෂය වන විට ළඟා කර ගැනීම සැලසුම්කරන අමාත්‍යාංශයේ තිරසාර සැලැස්ම පිළිබඳවද කමිටුව විසින් වැඩිදුරටත් මෙහිදී ප්‍රශ්න කර තිබෙනවා.

නමුත් සංවර්ධිත රටකට ලගාවීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැතියද අමාත්‍යාංශය සතුව ඒ වෙනුවෙන් නිවැරදි උපායමාර්ගික සැලැස්මක් නොමැති බවද මෙහිදී හෙලි වී ඇතැයි වාර්තා වෙනවා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: