hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 31, ප.ව. 2:02



පවතින ප්‍රශ්න සාකච්ඡා කර අභ්‍යන්තරව විසදා ගැනීමට එක් වන ලෙස දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවා.

ඒ මහතා මෙම අදහස් පළ කළේ අතුරුදහන් වු තැනැත්තන් සැමරීමේ  ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් සදහා එක්වෙමින්.

අතුරුදහන් වූ තැනැත්තන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම ඔවුන් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීම, අතුරුදහන් වු තැනැත්තන්ගේ ඥාතීන් වෙනුවෙන් සාධාරණත්වය ඉටු කිරීමට හා ඉදිරියේදී එවැනි ආකාරයේ සිදුවීම් ඇති නොවීම සදහා කටයුතු කිරීම වෙනුවෙන් මෙම කාර්යාලය ස්ථාපිත කළ බවත්, එම කාර්යාලය ස්ථාපිත කර වසර හතරක් ගත වුවද එහි කටයුතු කාර්යක්ෂමව සිදු වී නොමැති බවත්, වත්මන් සභාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය විමර්ශන කඩිනමින් සිදු කිරීමට දැඩි කැපවීමෙන් කටයුතු කරන බවත්,ඉදිරි වසර දෙකක පමණ කාලය තුළ දී අතුරුදහන් වු පුද්ගලයින් සම්බන්ධව ලැබී ඇති පැමිණිලි සියල්ල පිළිබදව ව්මර්ශන අවසන් කිරීම අරමුණ බවත්, අමාත්‍යවරයා සදහන් කළා.

ගැටුම් හේතුවෙන් අතුරුදහන් වු පුද්ගලයින් සම්බන්ධ පැමිණිලි 14988 ක් මේ වන විට ලැබී ඇති අතර, ඉන් පැමිණිලි 1250 ක් සම්බන්ධව විමර්ශන අතුරුදහන් වු තැනැත්තන් පිළිබදව වු කාර්යාලයේ වර්තමාන නිලධාරීන් විසින් මාස හතරක් පමණ කෙටි කාලයත් තුළ අවසන් කර ඇති බව ද අධිකරණ අමාත්‍යවරයා පවසා සිටියා.

අතුරුදහන් වු පුද්ගලයින් සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීම හා සාධාරණය ඉටු කිරීමේ විමර්ශන සදහා අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාලය ලබා දෙන සහතිකය අත්‍යවශ්‍ය වන බවත්, යුද්ධය පැවති සමයේ ගැටුම්වලට මුවා වී පෞද්ගලික පළිගැනීම් සිදු වීම, ඇතැම් පුද්ගලයින් අතුරුදහන් වු බවට පවසමින් විදේශ ගතවීම් වැනි කරුණු සිදුව ඇති බැවින් මේ සියල්ලටම විසදුම් වශයෙන් ව්‍යවස්ථාපිතව පරීක්ෂණ සිදු කිරීමට අතුරුදහන් වු තැනැත්තන් පිළිබදව කාර්යාලය ස්ථාපිත කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කළා.

ශ්‍රී ලංකාවේ අතුරුදහන් වුවන් සම්බන්ධව පවතින ගැටළු හා යුද්ධයෙන් පසුව උද්ගත වු සෙසු ප්‍රශ්න සදහා විසදුම් සෙවීමේදී එය ජාත්‍යන්තරය වෙත ගෙන යාම වෙනුවට දේශිය යාන්ත්‍රණයක් තුළින් විශ්වාසදායී ලෙස සාකච්ඡාවෙන් විසදා ගත යුතු බවත්, ඒ සදහා දෙමළ ඩයස්පෝරාව ඇතුළු සියලු දෙනාට ආරාධනා කරන බවත්, මේ වන විට කැනඩාව, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය වැනි රටවල ඩයස්පෝරා නායකයින් සමග සාකච්ඡා කළ බවත්, සාකච්ඡාවෙන් සම්මුතියෙන් පවතින ප්‍රශ්න විසදා ගැනීම සදහා ඔවුන් දැඩි කැමැත්තෙන් පසු වන බවත්, ජාති ආගම් හා භාෂා වශයෙන් ගැටුම් ඇතීවීම වළක්වමින් ජනතාව අතර සාමය, සමගිය, සංහිදියාව ඇති කිරිමේ අරමුණින් නව නීති රාමුවක් සකස් කිරීමට කටයුතු කරමින් සිටින බවත්, අමාත්‍යවරයා කියා සිටියා.

ජීනීවා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් මෙරටදී තමන් හමු වු අතර, ශ්‍රී ලංකාවේ දැනට සිදු කරනු ලබන විමර්ශන සම්බන්ධයෙන් ඔවුන් ප්‍රසාදයෙන් පසු වන බව මෙහිදී අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: