hit counter

2026 මාර්තු මස 20 වන සිකුරාදා

2026 මාර්තු 20, ප.ව. 6:00



අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා තමන් වෙත මැද ඇඟිල්ල පෙන්වමින් සහ දිව දික් කරමින් අතිශය අසභ්‍ය හා නින්දිත ආකාරයෙන් පාර්ලිමේන්තුව තුළ හැසිරුණු බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා අද (20) සජීවී වීඩියෝවක් මගින් බරපතල චෝදනාවක් එල්ල කළා. 

පාර්ලිමේන්තු සම්ප්‍රදායන් උඩුයටිකුරු කරමින් කැබිනට් අමාත්‍යවරයෙකු මෙලෙස හැසිරීම සමස්ත උත්තරීතර සභාවටම සිදුකළ අපහාසයක් බව මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළා. 

නීතිපති දෙපාර්තමේන්තුවේ බලය විමධ්‍යගත කරමින් ප්‍රාදේශීය නීතිපති කාර්යාල ආරම්භ කිරීමේ ප්‍රගතිය පිළිබඳව අජිත් පී. පෙරේරා මහතා මීට වසරකට පමණ පෙර යොමුකර තිබූ ප්‍රශ්නයකට අද දින අමාත්‍යවරයා පිළිතුරු දීමට නියමිතව තිබුණු නමුත් අමාත්‍යවරයා එම ප්‍රශ්නයට පිළිතුරු දීම මගහැරි බවත්, ඒ පිළිබඳව මන්ත්‍රීවරයා කතානායකවරයාට කරුණු ඉදිරිපත් කරන අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම අශෝභන හැසිරීම සිදුකර ඇති බවත් අජිත් පී පෙරේරා මහතා පවසනවා.

අධිකරණ අමාත්‍යවරයෙකු ලෙස පත් කරන්නේ ඉතාමත් සංයමයකින් සහ වගකීමකින් කටයුතු කරන අයෙක් වුණ නමුත් මෙලෙස  උගත් යැයි කියාගන්නා, පාර්ලිමේන්තු සම්ප්‍රදාය වෙනස් කිරීමට පැමිණි අයගේ හැසිරීම අතිශය කනගාටුදායක බවයි.

එමෙන්ම මේ මට්ටමට පල්ලෙහාට වැටිච්ච අවස්ථාවක් මගේ තුන්වෙනි පාර්ලිමේන්තු වාරය තුළ මම දැකලා නැහැ,” යනුවෙන් අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කළා.

කෙසේවෙතත් විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ද මෙම සිදුවීම දුටු බවත්, මේ පිළිබඳව වරප්‍රසාද කඩකිරීමේ යෝජනාවක් ඉදිරිපත් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

වැඩක් කරගත නොහැකි, කේන්තිය සහ අපහාසය පමණක් සිතේ ඇති මෙවැනි අසභ්‍ය ලෙස හැසිරෙන අමාත්‍යවරුන් සමග ආණ්ඩුවක් පවත්වාගෙන යා හැකිද යන්න පිළිබඳව ජනාධිපතිවරයා නැවත සිතා බැලිය යුතු බව මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළා.

එමෙන්ම කතානායකවරයා මේ සම්බන්ධයෙන් වහාම විනයානුකූල පියවරක් ගත යුතු බව ද අජිත් පී පෙරේරා මහතා එහිදී වැඩිදුරටත්  ඉල්ලා සිටියා.

මීට පෙර හර්ෂණ නානායක්කාර මහතාගේ පියාගේ වැඩිමහල් සහෝදරයා වන වාසුදේව නානායක්කාර මහතාද පාර්ලිමේන්තුව තුළදී අසභ්‍ය වචනයක් පැවසීම හේතුවෙන් ඒ මහතා සමාජය තුළ දැඩිව විවේචනයට ලක්වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: