hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 19, පෙ.ව. 7:46



ජනශක්ති  සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා බොරැල්ල සුසාන භූමිය තුළදී කෘෘර වධ හිංසාවට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ඒකකය මඟින් විමර්ශන සිදුකරන බව පොලිසිය සඳහන් කළා.

ඊට අමතරව බුද්ධි අංශ මඟින්ද විමර්ශන සිදුකරන බව පොලිස් නිලධාරියකු පැවැසුවා.

මේ වන විට බොරැල්ල පොලිසිය මඟින්  සභාපතිවරයාගේ බිරිය වන ටානී ශාෆ්ටර් මහත්මියගෙන්, විධායක නිලධාරියකුගෙන්, සුසාන භූමියේ ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනකුගෙන්, සේවකයන් දෙදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලිස් නිලධාරියකු පැවැසුවා.

ඊට අමතරව සභාපතිවරයා පැදවූ බව කියන මෝටර් රථයේ විද්‍යුත් දත්ත පරීක්ෂා කිරීමටද, ඔහු පරිහරණය කළ ජංගම දුරකථනය පරීක්ෂා කිරීම මෙන්ම විශේෂයෙන් සී.සී.ටී.වී. කැමරා දර්ශන දැඩි පරීක්ෂාවට ලක් කිරීමට විමර්ශන සිදුකරන නිලධාරීන් විසින් මේ වන විට පියවර ගෙන ඇතැයි එම නිලධාරියා සඳහන් කළා.

සභාපතිවරයා සුසාන භූමියේ ප්‍රධාන දොරටුවෙන් සුසාන භූමියට තනිවම ඇතුළුවූ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය පැවසුවා.

වසර තුනකට පමණ ඉහතදී ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයකු වූ බ්‍රයන් තෝමස්ට සභාපතිවරයා විසින් රුපියල් කෝටි 400කට ආසන්න මුදලක් ව්‍යාපාරික කටයුතු  සඳහා ලබාදී ඇති අතර එම ගනුදෙනුව සම්බන්ධයෙන් පැවැති මතභේදාත්මක තත්ත්වයක් මත සභාපතිවරයා විසින් එම බ්‍රයන් තෝමස්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉකුත් කාලය තුළදී පැමිණිලි තුනක් දමා ඇතැයිද දැනගන්න තිබෙනවා.

එකී මුදල් ලබාගත් බ්‍රයන් තෝමස් හමුවීම සඳහා යන බව බිරියට හා විධායක නිලධාරිවරයාට පවසමින් කුරු¾දුවත්ත  මල් පාර නිවෙසින් සභාපතිවරයා 15 වනදා දහවල් 1.30ට පමණ පිටත්ව ගොස් තිබූ බව පොලිසිය කියයි.

ඔහුගේ බිරිය මඳ වේලාවකදී ඔහුට දුරකථන ඇමතුම් ලබාගෙන ඇති අතර සභාපතිවරයාගේ දුරකථනය ක්‍රියා විරහිතව තිබී ඇති අතර බිරියගේ ජංගම දුරකථනයට ඔහු බොරැල්ල සුසාන භූමිය තුළ රැඳී සිටින බවට සංඥා ලැබී ඇතැයි පොලිසිය පැවසුවා.

වහා ක්‍රියාත්මක වූ සභාපතිවරයාගේ බිරිය සමාගමේ විධායක නිලධාරියකුට ඒ බව පවසා  බොරැල්ල සුසාන භූමිය වෙත එවා ඇති අතර  ඔහු පැමිණ කළ සොයා බැලීමේදී සභාපතිවරයා පැමිණි මෝටර් රථයේ රියැදුරු අසුන මත ඔහුගේ අත් දෙක ගැට ගසා ගෙලට වයරයක් දමා සිර කර තිබෙන අයුරු දැක තිබූ බව පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

ඒ වන විට සිහිසුන් තත්ත්වයකින්  සභාපතිවරයා පසුවී තිබුණු බැවින් වහා    ක්‍රියාත්මක වූ විධායක නිලධාරියා සුසාන භූමියේ කම්කරු සේවකයකුගේ උදවු උපකාර ඇතිව  සභාපතිවරයාගේ අත් දෙක සහ ගෙල තද වන ලෙස ගැටගසා තිබූ වයර් ඉවත්කර ඔහු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ බව පොලිසිය පැවසුවා.

ඒ වන විට සවස 5.15ට පමණ ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවැසුවා.

වෛද්‍යවරුන් දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසු සභාපතිවරයාට කෘත්‍රිම ශ්වසනය ලබාදීම සඳහා අවශ්‍ය උපකරණ සවි කර දැඩි සත්කාර ඒකක දෙක වෙත යොමු කළද අසාධ්‍ය තත්ත්වයේ පසුවූ සභාපතිවරයා කිසිදු ප්‍රකාශයක් නොකර පැය කිහිපයක් තුළදී පෙරේදා රාත්‍රි 10.30ට පමණ මියගිය බවත් රෝහල් ප්‍රකාශකයකු සඳහන් කර සිටියා.

මිය යන විට සභාපතිවරයා 51 වියේ පසුවන දෙදරු පියෙක්.

ඉතා සැලසුම් සහගතව සභාපතිවරයාව සුසාන භූමිය වෙත කැඳවා පිරිසක් එක්ව මෙම සාහසික අපරාධය සිදු කරන්නට ඇති බව   විමර්ශන කටයුතු සිදු කරන උසස් පොලිස් නිලධාරියකු පැවැසුවා.

දෑත් දෙපා ගැටගසා ගෙල සිරකර මරා දැමුණු ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනයේ මුල අනාවරණය කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම අරඹා තිබෙනවා.

ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කොට ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු ඒ ඔස්සේ විමර්ශන සිදුකරන බවත් ඉන් අනතුරුව ශාෆ්ටර් මහතාගේ බිරියගෙන්ද ප්‍රකාශයක් ලබාගන්නා බව ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසුවා.

ශාෆ්ටර් මහතාගේ ඝාතනය මුදල් ගනුදෙනුවක් මත සිදුවූවක් බවට පොලිසිය සැක කරනවා.

රුපියල් කෝටි 400ක ගනුදෙනුවක් සම්බන්ධයෙන් තොරතුරු පොලිසියට ලැබී ඇති අතර ශාෆ්ටර් මහතා එම මුදල නැවත නැවත ඉල්ලා ඇති බවත් වාර්තා වී තිබෙනවා.

ඒ නිසා කොන්ත්‍රාත් ක්‍රමයට මොහු ඝාතනය කළේද යන්න සැකයක් පවතින බවද පොලිසිය කියයි.

කෙසේ වෙතත් ශාෆ්ටර් මහතාගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.

මැර කණ්ඩායම සිය රථය තුළදීම ශාරීරික හිරිහැරයකට ශාෆ්ටර් මහතා ලක්කර ඇති අතර මෝටර් රිය තුළම ඔහුගේ දෙඅත් ගැට ගසා ගෙල සිර කර ඔහු මරා දමා තිබුණා.

මේ අතර බොරැල්ල සුසාන භූමිය හා ඒ අවට මාර්ගවල සී.සී.ටී.වී. කැමරා නිරීක්ෂණය කිරීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති අතර බුද්ධි කණ්ඩායම්ද විමර්ශනවලට එක් කරගෙන තිබෙනවා.

එමෙන්ම උසස් පොලිස් නිලධාරියකු කීවේ බිරියගේ මානසික තත්ත්වය යහපත් අතට හැරුණු පසු ඇගෙන් ලබාගන්නා ප්‍රකාශය විමර්ශනවලට දැඩි පිටිවහලක් වනු ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇති අතර බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා යටතේද විමර්ශන සිදු කෙරෙනවා.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය ගෙල සිර කර  සිදුකළ  ඝාතනයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී යැයි බොරැල්ල පොලිසිය කියයි.

කොළඹ අංක 2 අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් සම්පත් ජයවර්ධන මහතාගේ නියෝග මත ජේ‍යෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරී රූල් හක් මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුවා.

අභිරහස් ලෙස ඝාතනයට ලක්වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු ඊයේ (18) සිදුකෙරුණා.

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: CCTV දර්ශන එළියට

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: හෝඩුවාවන් කිහිපයක් එළියට  

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: ඝාතනයට හේතුව එක්ක තවත් කරුණු රැසක් එළියට

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: සහෝදරයෙකුගෙන් ට්විටර් පණිවිඩයක්

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය පිටුපස ක්‍රිකට් වලට සම්බන්ධ අයෙකුත්

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය : සැමියා ගැන පළමු හෝඩුවාව බිරිඳගෙන්

ජනශක්ති සභාපති ඝාතනය : බොරැල්ල කනත්තේ කම්කරුවෙකු සියසින් දුටු දේ පාපොච්චාරණය කරයි





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: