hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 19, පෙ.ව. 12:04



වාහන ආනයනය කිරීමට රජය යළි අවසර දුන්නද එම අවසරය ලැබෙන දිනයේ සිට වාහන මෙරටට ගෙන්වීමට සැලකිය යුතු කාලක් ගතවිය හැකි බව ජපානයේ වාහන අපනයනකරුවන්ගේ සංගමයේ ජ්‍යේෂඨ උපදේශක, ජපන් ව්‍යාපාරික සංගමයේ සභාපති ජගත් රාමනායක මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කරනවා.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙම තත්ත්වයට හේතුව ශ්‍රී ලංකාවෙන් නිකුත් වන ණයවර ලිපි සඳහා මුදල් නොගෙවන ලෙස ජපාන බැංකු පද්ධතිය වෙත මේවන විටත් උපදෙස් ලැබී ඇති නිසා එම තීරණය ආපසු හැරවීමේ ක්‍රියාවලියට යම් කාලයක් ගතවිය හැකි බවයි.

එමනිසා යළි ජපානයෙන් වාහන ගෙන්වීමේ දී සැලකිය යුතු කාලක් ගතවිය හැකි බවයි ඔහු සඳහන් කර සිටියේ.

ජපානයේ සිට විදේශ රටවලට වාහන අපනයන කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටින ජගත් රාමනායක සිය ජපාන අත්දැකීම් සමඟ ශ්‍රී ලංකාවේ වාහන වෙළදපොළ සම්බන්ධයෙන් මතුවිය හැකි තත්ත්වය පිළිබඳ මෙසේ අදහස් ප්‍රකාශ කළා.

”පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම සඳහා විවෘත කළ ණයවර ලිපි සඳහා මුදල් නොගෙවන ලෙස ශ්‍රී ලංකා රජය ජපාන බැංකු පද්ධතිය වෙත නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. මේනිසා මේවන විට ජපානයේ බැංකුවලින් පහසුවෙන් මුදල් නිදහස් කරගැනීමට නොහැකිවේ. ශ්‍රී ලංකාව හෙට යළි වාහන ගෙන්වීම සඳහා අවසර ලබා දුන්නත් මෙම ණයවර ලිපි ක්‍රියාවලිය යළි සක්‍රීය කිරීමට නිල වශයෙන් එම බැංකු පද්ධතිය දැනුවත් කළ යුතුය. මේ සඳහා යම් කාලයක් ගතවන බැවින් ඉක්මනින් යළි වාහන ගෙන්වීමේ හැකියාවක් නැහැ”

ශ්‍රී ලංකාවේ බොහෝ නීති රීති පැය 24ක් තුළ වෙනස් කෙරෙන බවත් එවැනි තත්වයන් තුළ මෙවැනි ව්‍යාපාරවල දී බොහෝ අසීරුතා පැන නගින බව සඳහන් කළ ඔහු තවදුරටත් පැවසුවේ යම් නීතියක් වෙනස් කරන්නේ නම් අද මධ්‍යම රාත්‍රී 12 සිට නොමැතිව යම් නිශ්චිත කාලවකවානුවක් ලබාදී එය සිදු කළ යුතු බවයි.

මෙසේ කඩිනම් නීති වෙනස් කිරීම තුළින් පුද්ගලයන් අපහසුතාවයට පත් වන බවත් මීට වසර හතරකට පෙරද මෙසේ වාහන ගෙන්වීම නතර කළ අතර එහිදී ණයවර ලිපි විවෘත කර මුදල් ගෙවා තිබු පුද්ගලයන් ගණනාවකගේ වාහන ලංකාවට එවූවද එම වාහන වසර හතරක් පුරා හම්බන්තොට වාරයේ ගොඩ ගසා තිබු බවත් මෑතකදී එම වාහන නිදහස් කිරීම සිදු කරනු ලැබු බවත් මෙහිදී ඔහු සඳහන් කර තිබෙනවා.

කෙසේ නමුත් වර්තමාන වනවිට වාහන ආනයනය සඳහා අවසර ලබා දීම වඩාත් උචිත බවයි මෙහිදී සභාපතිවරයා පැවසුවේ.

එමෙන්ම කොරෝනා වසංගතයෙන් පසු නවීන වර්ගයේ වාහන ලෝකය පුරා දැකගත හැකි බවත් ශ්‍රී ලංකාව ද මෙවැනි වාහන ආනයනය සඳහා කටයුතු කළ යුතු බවත් ඔහු තවදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: