hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 ජූනි 24, ප.ව. 5:33



හම්බන්තොට වරාය 2017 වසරේදී බදුදීමෙන් ලද මුදලින් වරාය ඉදිකිරීමට ගත් ණය ගෙවා නැති බවත් එම මුදල් වෙනත් කාර්යන් සදහා යොදවා ඇති බවත් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී (කෝප් කමිටුව) අනාවරණය වුණා.

මේ අනුව 2017 වසරේ වරාය 99 වසරක බද්දට දීමේදී ලැබුණු මුදල මෙන්ම ඉතිරි ණය මුදල වරාය අධිකාරිය විසින් මහාභාණ්ඩාගාරයට ලබා දුන් බවත් ණය පොලී අනුපාතය අඩු අගයක් ගත් බැවින් වරාය ඉදිකිරීමට ගත් ණය මුදල පියවීම සිදුනොකොට භාණ්ඩාගාරය විසින් රජයේ වියදම් සදහා යොදා ගෙන ඇති බවත් මෙහිදී හෙළිදරව් වී තිබෙනවා.

මහා භාණ්ඩාගාරය විසින් මේ වන විට ණය හා පොලිය ආපසු ගෙවීම සිදු කළද ගිණුම් ප්‍රකාශනවල නිසි පරිදි එය ණය ගෙවීමක් බව සටහන් නොවන බවද මෙහිදී අනාවරණය වී තිබෙනවා.

2017 නොවැම්බර් 30 වන විට වරාය අධිකාරියේ ගිණුම්වල ඉතිරිව පැවති රු. මිලියන 147,746 ක ණය හා පොලී ශේෂය සහ රු. මිලියන 31,545 ක විදේශ විනිමය පරිවර්තන අලාභය වරාය අධිකාරිය විසින් මහා භාණ්ඩාගාරයේ හෝ කැබිනට් අනුමතියකින් තොරව මූල්‍ය ප්‍රකාශනවලින් ඉවත්ව කර ඇති බව අනාවරණය වුණා.

විදෙස් ණය කිසිදු ගිණුමක නෑ

මේ අනුව හම්බන්තොට වරාය ඉදිකිරීම සදහා ලබා ගෙන තිබූ විදේශ ණය ප්‍රමාණය රජයේ කිසිදු ගිණුම් ප්‍රකාශනයක මේවන විට නොපෙන්වන බවද මෙහිදී කෝප් කමිටුව හමුවේ වැඩිදුරටත් අනාවරණය විය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2019,2020 විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සදහා මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව පසුගිය 22 වනදා රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වුණා.

මේ අනුව මේ පිළිබද මුදල් අමාත්‍යාංශය , වරාය අධිකාරිය සමග සාකච්ඡා කොට නිසි පරිදි මෙය ගිණුම් ප්‍රකාශනවලට ඇතුළත් කිරීමට අවශ්‍ය පියවර ගෙන මසක් ඇතුළත කෝප් කමිටුවට වාර්තා කරන ලෙස වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්වරයාට කෝප් සභාපතිවරයා නිර්දේශ කළේය.

2017 නොවැම්බර් සිට මෙහෙයුම් කටයුතු නතර කර තිබූ අධිකාරියේ පරිපාලිත සමාගමක් වන මාගම්පුර වරාය කළමණාකරණ සේවා පුද්ගලික සමාගම විසින් 2014 වර්ෂයේදී නැව් තෙල් මිලදී ගැනීම සදහා මෙරට බැංකුවකින් ඇ.ඩො මිලියන 24 ක ණය මුදලක් ලබා ගෙන ඇති බවත් එම මුදල පියවීමට අපොහොසත්වීම නිසා අදාළ බැංකුව මෙම සමාගමට විරුද්ධව නඩු පවරා ඇති බවත් මෙහිදී හෙළි වුණා.

මිලදී ගත් තෙල් භාවිතා කර නෑ

මෙහිදී අනාවරණය වූයේ ඇ.ඩො මිලියන 24 ක නැව් තෙල් මිලදී ගත්තද එම තෙල් භාවිත නොකොට දීර්ඝ කාලයක් ගබඩා කර තැබීම නිසා කල් ඉකුත් වූ පසු ඇ.ඩො. මිලියන 3.5 කට විකුණා ඇති බවයි.

මේ අනුව  ඇ.ඩො මිලියන 20.5 කට ආසන්න අලාභයක් මෙහිදී සිදුවී ඇති බවට නිරීක්ෂණය විය. චීන සමාගමකට 2017 දී වරාය බදු දීමේදී මෙම ‘මාගම්පුර වරාය කළමණාකරණ සේවා පුද්ගලික සමාගමේ’ තෙල් ටැංකි සියල්ලමද පවරා දීම සිදු කර ඇති බවත් එම අවස්ථාවේදී මෙම ණය මුදල් පිළිබදව අනාවරණය කර නොමැති බවත් මෙහිදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

එම හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය සහ උපදේශකවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වහාම මැදිහත් වන ලෙස මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරයාට කමිටුව නිර්දේශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

අවිධිමත් බදවා ගැනීම්

වරාය අධිකාරියේ අනුමත සේවක සංඛ්‍යාව වන 9990 ඉක්මවා නොගියද අවිධිමත් හා සංකීර්ණ ලෙස බදවා ගැනීම් සිදුව ඇති බව මෙහිදී හෙළිදරව් වුණා.

වරාය අධිකාරිය 2010 වසරේදී ඉදිරිපත්කොට ඇති සේවකයන් බදවා ගැනීමේ පටිපාටිය ( SOR)  කළමනාකරණ සේවා දෙපාරතමේන්තුවෙන් අනුමත වී නොමැති බවද මෙහිදි අනාවරණය වුණා.

ආයතනය සහ සේවකයන් අතර සාමුහික ගිවිසුම් මගින් බදවා ගැනීමේ පටිපාටිය හා වැටුප් තල  තීරණය කොට ඇති බවත් මෙහිදී වරාය අධිකාරියේ නිලධාරීන් පැවසුවා.  

කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ සහ වැටුප්  කොමිසමේ නිර්දේශයන්ට වරාය අධිකාරය එකගත්වය පළ කර නොමැති බවද ඒ අනුව තනතුරු පමණක් අනුමත කර ඇති බව ද මෙහිදී හෙළිදරව් වුණා.

අධිකාරියේ අදාළ වැටුප් තල අනුමත නොවන නිසා බදවා ගැනීමේ පටිපාටියද (SOR) අනුමත කරගත නොහැකි වී ඇති බවද තවදුටරටත් මෙහිදී අනාවරණය වුණා.

සාමූහික ගිවිසුම් මගින් වැටුප් තල හා බදවා ගැනීමේ පටිපාටිය තීරණය කළද වරාය අධිකාරිය යනු මෙරට තුළ පිහිටා ඇති ආයතනයක් බැවින් අනෙකුත් ආයතනවලට අදාළ නෛතික රාමුව තුළ පමණක් සිදු වීමේ අවශ්‍යතාව මෙහිදී කෝප් සභාපතිවරයා අවධාරණය කළා.

සමහරු මාසෙට පැය 400 ක් OT කරලා

යම් විශේෂිත හේතු කාරණා ඇත්නම් ඒ පිළිබද සාකච්ඡා කොට නෛතික රාමුව ඔස්සේ මෙම ගැටලුව කඩිනමින් විසදා ගැනීමට කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන සමග කඩිනමින් සාකච්ඡා කොට මේ පිළිබද නිසි තීරණයක් වහාම ගන්නා ලෙස කෝප් සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළා.

අධිකාරියේ සේවකයන් සදහා ගෙවා ඇති අතිවිශාල අතිකාල දීමනා ගෙවීම පිළිබදවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

මෙහිදී විශේෂ අවධානය යොමුවී තිබුණේ 2021 වසරේදී සේවක අතිරික්ත පැවති අංශවල සේවකයන් වෙනුවෙන් ගෙවන ලද රු. මිලියන 1173 ක් ඇතුළු වර්ෂය සදහා ගෙවා ඇති රු. මිලියන 5,850 ක සමස්ත අතිකාල ගෙවීම් සම්බන්ධයෙන්.

වැඩ සහයකයන් ලෙස සුදුසුකම් රහිත  1500 කට ආසන්න ප්‍රමාණයක් බදවා ගෙන ඇති තත්ත්වයක එම වෘත්තිය හැකියාව සහිත පුද්ගලයන් සදහා රාජකාරිය වෙනුවෙන් අමතරව අතිකාල දීමනා ගෙවා ඇති බව මෙහිදී අනාවරණය වුණා.

තවද මාසකට පැය 400 ක් පමණ අතිකාල දීමනා ගන්නා සේවකයන් සිටින බවත් මෙහිදී හෙළි වුණා.

මෙම තත්ත්වය පිළිබද සිය දැඩි අප්‍රසාදය පළ කළ කෝප් සභාපතිවරයා මින් ඉදිරියට කිසිසේත්ම මෙය සිදු නොවිය යුතු බවත් නිසි සුදුසුකම් සහිත පුද්ගලයන් පමණක් බදවා ගැනීමට කටයුතු කළ යුතු බවත් අවධාරණය කළා.  

ලාභෙන් සොච්චමක් දීලා

එසේම දේශපාලන මැදිහත්වීමකින් තොරව සුදුසුකම් මත පමණක් බදවා ගැනීම් සදහා ඉඩ සැලසීම පක්ෂ භේදයකින් තොරව සියලුම දේශපාලනඥයන්ගේ වගකීමක් බව කෝප් කමිටුවේ සාමාජික මන්ත්‍රීවරු අවධාරණය කළා.

මුදල් පනත සහ ලංකා වරායවල් පිළිබද අධිකාරිය පනත අනුව ඒකාබද්ධ අරමුදල වෙත ලාභාංශ හා අතිරික්ත මුදල් ලබා නොදීම පිළිබදව ද සාකච්ඡා වී තිබෙනවා.

2016 සිට 2021 දක්වා අධිකාරිය රු. මිලියන 69,686 ක් ලාභ ලබා තිබුණද භාණ්ඩාගාරයට ලබා දී ඇත්තේ රු. මිලියන 600ක් බවද මෙහිදී අනාවරණය වුණා.

ඇතැම් ණය වාරික ගෙවීම, නඩත්තු කටයුතු සදහා විශාල මුදලක්ද වැය වන බව වරාය අධිකාරියේ සභාපතිවරයා මෙහිදී පැවසුවා.

ලාභ ලබන ආයතනයක් ලෙස වරාය අධිකාරියේ කාර්ය භාරය අගය කරන අතරම වරාය පනත අනුවද 8% ක ලාභයක් භාණ්ඩාගාරයට දිය යුතු බැවින් ඒ සදහා කටයුතු කරන ලෙසද කෝප් සභාපතිවරයා මෙහිදී නිර්දේශ කළා.

වරාය නැගෙනහිර බහාළුම් පර්යන්තයේ මෙහෙයුම් කටයුතු සදහා දොඹකර මිලදී ගැනීමට වැඩ ආරම්භ කිරීමේ ප්‍රමාදය පිළිබදව ද මෙහිදී සාකච්ඡා වූ අතර මෙහිදී වරාය අධිකාරියේ සභාපතිවරයා පැවසුවේ මිලදී ගැනීම් කටයුතු 2024 වන විට නිම කරන්නට සැලසුම් කර ඇති බවයි.

එම කටයුතු කඩිනමින් සිදු කොට එම පර්යන්තය වානිජ කටයුතුවලට යොදා ගනිමින් ‍මෙහෙයුම් කටයුතු පුළුල් කිරීමේ අවශ්‍යතාව කෝප් කමිටුව අවධාරණය කර තිබෙනවා.    

අභ්‍යන්තර විගණන අංශය ශක්තිමත් ලෙස ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවද කාරක සභාවේදී අවධාරණය කළා.

2022 වර්ෂයට අදාළ විගණන සැලැස්මද කෝප් කමිටුව වෙත එවන ලෙස නිර්දේශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: