hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 18, පෙ.ව. 8:50



2023 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට (පළමු වර කියවීම) නියමිතයි.

මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සදහා පසුගියදා (07) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මේ බව තීරණය වී තිබෙනවා.

පාර්ලිමේන්තුව අද (18) සිට 21 වැනිදා දක්වා රැස්වන අතර මෙම සෑම දිනකම පෙ.ව 9.30-පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇතැයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ අනුව අද පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වෙනවා. අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා රජය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව අනුව විවාදය පැවැත්වෙන බවද මහලේකම්වරයා පැවසුවා.

හෙට (19) පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා අධිකරණ අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කළ පනත් කෙටුම්පත් 6 ක් විවාදයට ගැනීමට ද නියමිතව තිබෙනවා. මේ අනුව, විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග (සංශෝධන), නොතාරිස් (සංශෝධන),  ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන), ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන), අන්තිම කැමති පත්‍ර (සංශෝධන),  වංචා වැළැක්වීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් විවාදයට ගැනීමට නියමිතයි.

අනතුරුව එදින ප.ව 5.00 – ප.ව 5.30 කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා වෙන්කර තිබෙනවා.

ලබන 20 සහ 21 දෙදින පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය  පැවැත්වීමට නියමිත අතර ලබන 20 වැනි දින ප.ව 5.00 – ප.ව 5.30 කාලය වෙන් කර ඇත්තේ විපක්ෂය ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීම සදහායි.

එසේම ලබන 21 වැනිදා සවස 5.00 දක්වා පැවැත්වෙන විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය අවසානයේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: