hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 ජූනි 22, ප.ව. 1:29



ඉන්ධන පිරවුම්හල් ආසන්නයේ රැදී සිටිමින් අනවශ්‍ය කලබල ඇති කරන සහ කප්පම් ගන්නා පිරිස් සම්බන්ධයෙන් සොයා බලන ලෙස පොලිස් මූලස්ථාන විසින් බුද්ධි අංශ වලට උපදෙස් ලබා දී තිබෙනවා.

නාගරික මෙන්ම ගම්බද පිහිටි බොහෝ ඉන්ධන පිරවුම්හල් ආසන්නයේ රැදී සිටින පිරිස් බලහත්කාරයෙන් ඉන්ධන ලබා ගෙන එම ස්ථානයේදී වැඩි මිලට අලවි කිරීම, තම හිතවතුන්ගේ වාහන වලට පමණක් ඉල්ධන ලබා දීම, කප්පම් ගැනීම වැනි ක්‍රියාවන් සිදු කරන බවට පොලිස් මූලස්ථානයට පැමිණිළි රැසක් ලැබී ඇතැයි වාර්තා වනවා.

සංවිධානාත්මක පිරිස් ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් සොයා ගොස් ඔවුන්ට තර්ජනය කර පිරවුම්හල් වල පාලනය තම අතට ගැනීම පසුගිය දින කීපය තුළම සිදුවී තිබූ බවද සඳහන්.

එම කණ්ඩායම් වලට ඇති බිය හේතුවෙන් බොහෝ ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් මේ බව පොලීසියට හෝ දැන්වීමට කටයුතු කර නොමැති බවද දැන ගන්නට තිබෙනවා.

ඉන්ධන හල් වල ආරක්ෂාව සදහා මේ වන විට යුධ හමුදාව අනියුක්ත කිරීමද සිදු කර තිබෙනවා. තම පිරවුම්හලට යුධ හමුදා ආරක්ෂාව අවශ්‍ය වන්නේ නම් ඒ බව පිරවුම්හලේ හිමිකරු විසින් අදාල අංශ වෙත දැනුවත් කිරීමක් සිදු කළ යුතු වනවා.

නමුත් කප්පම්කරුවන් සහ කලබල ඇති කරන්නන් විසින් දිගින් දිගටම සිදු කරනු ලබන බලපෑම් හේතුවෙන් බොහෝ පිරවුම්හල් හිමිකරුවන් යුධ හමුදා ආරක්ෂාව නොපතන බවද වාර්තා වනවා.

යම් ආකාරයකට යුධ හමුදාව පිරවුම්හල් වෙත අනියුක්ත කර තිබුනහොත් තමන්ගේ කටයුතු කරගෙන යාමට බාධාවක් ඇති වන නිසා බොහෝ කප්පම්කරුවන් සහ කලබල කරන්නන් පිරවුම්හල් හිමිකරුවන්ට බලපෑම් කරන බවද සඳහන්.

මෙසේ කප්පම් ගැනීම් සහ කලබල කරන්නන් පසුපස සිටින්නේ ප්‍රාදේශීය දේශපාලකයින් මෙන්ම විවිධ ජාවාරම්කරුවන් බවටද හදුනා ගෙන ඇති බව විමර්ශන කටයුතු සිදු කරන නිලධාරියෙකු පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: