hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 අගෝස්‍තු 02, ප.ව. 12:19



විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හෙවත් ‘ඊ පාස්පෝට්’ නිකුත් කිරීමට අදාළ අභිලාෂ කැඳවීමේ නිවේදනය(EOI) අත්හිටුවා ටෙන්ඩර් කැඳවීමට අමාත්‍ය ටිරාන් අලස් මහතා තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊට අදාල කටයුතු සඳහා විශේෂ තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත්කිරීමටත් , රටේ පවතින ආර්ථික තත්ත්වය හා අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන අලුතින් ටෙන්ඩරයක් කැඳවීමටත් විෂය බාර අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් ඉදිරිපත්කර ඇති කැබිනට් පත්‍රීකාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන බව සඳහන්.

‘ඊ පාස්පෝට්’ නිකුත් කිරීමට අදාලව අභිලාෂ කැඳවීමේ නිවේදන(EOI) කැඳවා තිබූ අතර එහිදී ඊට ඉදිරිපත්වූ බොහෝ අභිලාෂ ප්‍රකාශකරුවන් එම අභිලාෂ කැඳවීමේ නිවේදනයේ පැවති යම් යම් තාක්ෂණික දුර්වලතා සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක අමාත්‍යංශය වෙත පැමිණිලි කර තිබුණ බවයි වාර්තා වී ඇත්තේ.

ඒ අනුව, අදාල අභිලාෂ කැඳවීමේ නිවේදනය අහෝසි කර සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඔස්සේ ටෙන්ඩර් කැඳවීමට විෂයබාර අමාත්‍ය ටිරාන් අලස් කටයුතු කර තිබෙනවා.

විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ලක්‍ෂ 7 කට වැඩි සංඛ්‍යාවක් වර්ෂයකට නිකුත් කළ යුතු බවත් ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 15ක් පමණ වැයවන බවත් මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කර ඇත්තේ.

එම විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා යොදාගන්නා යන්ත්‍ර සඳහා ද ඩොලර් මිලියන ගණනක් වැය කිරීමට සිදුව ඇති බව කී එම නිලධාරියා අධික වියදම හේතුවෙන් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම දුෂ්කර වී ඇති බව ද සඳහන් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: