hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:04



ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජයට රටක් පාලනය කිරීමේදී අවශ්‍ය කුසලතාව, හැකියාව හා දක්ෂතාව නොමැති බව පෙන්වා දී ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔවුන් මැතිවරණයේදී පැවසූ ආකාරයට අත්‍යවශ්‍ය ආහාරවල මිල පාලනය කිරීමටත් නොහැකි වී ඇති බවයි ප්‍රේමදාස මහතා කියා සිටියේ.

ඒ මහතා මේ බව පැවසුවේ දෙහිවල පැවැති ජන හමුවක් අමතමින්.

ඒ හේතුවෙන් පොල් ගෙඩියක් පවා ලබාගැනීමට යළි පෝලිම් යුගයට යාමට සිදුව ඇති බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නා.

රටේ ජනතාවගේ ආදායම අඩු බවත්, භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් දරුවන්ට අවශ්‍ය ආහාර ලබාදිය නොහැකි ලක්ෂ ගණන් පවුල් තිබෙන බවත්, ඔහු කියා සිටියා.

ඒ අනුව මන්දපෝෂණය වර්ධනය වී මව්වරුන්ගේ හා දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න භාවය අඩුව ඇති බවයි හිටපු විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේ.

වත්මන් රජයට ජනතාව ජීවත් කරවන්න විසඳුම් නොමැති බව ද සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම ශ්‍රී ලංකාව 2028 වසරේ සිට විදේශ ණය ගෙවිය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය ඩොලර් සංචිත තිබිය යුතු බවත් ඔහු අවධාරණය කර සිටියා.

එලෙස ඩොලර් ලබාගන්නා ක්‍රමවේද වේගවත් විය යුතු බවත්, 2028 වසරේදී ද ඩොලර් නොමැතිව ණය ගෙවන්න බැරි වුවහොත් නැවත වරක් රට බංකොලොත් විය හැකි බව ඔහුගේ අදහසයි.

ඉදිරි වසර හතර තුළ රටේ ආර්ථිකය වේගයෙන් ඉදිරියට යා යුතු බව පෙන්වා දුන් ඔහු මන්දගාමී ආර්ථිකයක් තුළ ණය ගෙවිය නොහැකි බවයි පැවසුවේ.

මෙවැනි තත්ත්වයක් තුළ ජනතාව ජීවත් කළ හැක්කේ සමගි ජන බලවේග රජයකට පමණක් බවත්, ඒ වෙනුවෙන් එක්වන ලෙස සියලු‍ දෙනාගෙන් ඉල්ලා සිටි බවත් සජිත් ප්‍රේමදාස එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: