hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 28, පෙ.ව. 12:32



සනත් නිශාන්ත කියන්නේ කවුද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පුත්තලම දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසි සනත් නිශාන්ත මහතා මිය යන විට වයස අවුරුදු 49ක් වනවා.

1975 වර්ෂයේ මැයි මස 03 වන දින උපත ලැබූ සනත් නිශාන්ත මහතා මිය යන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

රෝමානු කතෝලිකයෙක් වූ නිශාන්ත මහතා සිය දේශපාලන දිවිය තුල විවිධ ක්ෂේත්‍රයන්ට නායකත්වය දීමට කටයුතු කළ අයෙක්.

ඒ අනුව වයඹ පළාත් මාර්ග සංවර්ධන, විදුලි බල, නිවාස හා ඉදිකිරීම් සහ ධීවර කටයුතු අමාත්‍ය / වයඹ පළාත් කෘෂිකර්ම, ධිවර, සත්ත්ව නිෂ්පාදන හා සංවර්ධන, සුළු වාරිමාර්ග හා ගොවිජන සංවර්ධන අමාත්‍ය / ධීවර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය මීට අමතරව සනත් නිශාන්ත මහතා කාරක සභා රැසක සමාජිකත්වය ගෙන කටයුතු කළ අයෙක්.

ඔහු සාමාජිකත්වය දැරූ කාරක සභා නම් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව). ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව)

සනත් නිශාන්තට ඇත්තටම මොකද වුණේ?

කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ තවත් අයෙක් මිය ගියා.

පොලීසිය පැවසුවේ, කටුනායක සිට කොළඹ දෙසට ධාවනය කරමින් තිබූ ඒ මහතා ගමන් කරමින් සිටි සුඛෝපභෝගි රථය, ඒ දෙසටම ධාවනය කරමින් තිබූ කන්ටේනරයක පිටුපස ගැටී තිබූ බවයි.

අනතුරුව එම රථය ආරක්ෂක වැටේ ගැටී තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍යවරයා, ඔහුගේ ආරක්ෂක නිලධාරියා සහ එම රථයේ රියදුරා රාගම රෝහලට ඇතුළු කෙරිණ.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පැවසුවා.

කටුනායක අධිවේගයේ R 11.1 කිලෝමීටර් කණුව අසල දී පාන්දර 2ට පමණ එම අනතුර සිදුව තිබුණ.

එහිදී මියගොස් සිටි ආරක්ෂක නිලධාරියා, ජයකොඩි නම් පොලිස් කොස්තාපල්වරයෙකි.

සනත් නිශාන්ත මාමා වෙනුවෙන් තරුණයෙක් ලියූ සංවේදී සටහන

කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ තවත් අයෙක් මියගොස් තිබෙන බව ඔබ මේ වන විටත් දන්නා කියන කරුණක්.

පොලීසිය පැවසුවේ, කටුනායක සිට කොළඹ දෙසට ධාවනය කරමින් තිබූ ඒ මහතා ගමන් කරමින් සිටි සුඛෝපභෝගි රථය, ඒ දෙසටම ධාවනය කරමින් තිබූ කන්ටේනරයක පිටුපස ගැටී තිබූ බවයි.

මේ අනතුරින් පසු ළහිරු ඉශාන් නම් තරුණයෙක් සිය සමාජ මාධ්‍ය ගිණුමට සටහනක් සහ ඡායාරූපයක් එක් කර‌ තිබෙනවා.

එම සම්පූර්ණ සටහන පහතින්,

“හිතාගන්න අමාරුයි සනත් නිශාන්ත මාමෙ මේ මොකක්ද උනේ කියලා. මං වෙනු වෙනුවෙන් මාව බලන්න ආව ගමනෙදිම මෙහෙම උනානෙ ඒක මට කොහොනත් දරා ගන්න අමාරුයි. නිවන් සුව ලැබේවා මාමෙ”

සනත් නිශාන්තගේ දේහය බැලීමට රෝහලට හදිසියේම ආ මන්ත්‍රීවරු මෙන්න

රිය අනතුරකින් මිය ගිය සනත් නිශාන්ත මහතාගේ දේහය තවමත් රාගම රෝහලේ පවතින බැවින් මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් එම රෝහලට පැමිණි බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

මේ අතර කලා තරු බොහෝමයක් රාගම රෝහල වෙත පැමිණ තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ රාත්‍රීයේ කුරුණෑගල සහ හලාවත ප්‍රදේශවල පැවති විවාහ උත්සව දෙකකට සහභාගී වී නැවත කොළඹ බලා යමින් සිටිය දී මෙම අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ජනපති, හිටපු ජනපතිවරු ඇතුළු මැති ඇමතිවරු සනත්ට අවසන් ගෞරව දක්වයි

හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ කොළඹ නිවසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණියා.

රාජ්‍ය ඇමතිවරයාගේ අභාවය සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් වෙත තම ශෝකය පළ කිරීමට ජනාධිපතිවරයා එහිදී කටයුතු කළා.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේදී අද අලුයම සිදුවූ රිය අනතුරුකින් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා හා ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයා මරණයට පත් වුණා.

රියදුරු මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

අනතුරකට ලක්ව මියගිය සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසට ගොස් පවුලේ ඥාතීන් මුණගැසී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

“ඇත්ත වශයෙන්ම අපේ හිතවත් ඇමතිතුමාගේ අභාවය ගැන අපි සම්පූර්ණයෙන් ම ශෝකප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම පක්ෂයේ හැම කටයුත්තක දී , පළාතේ කටයුතුවල දී ඉස්සරහට ඇවිල්ලා වැඩ කරපු ඇමතිවරයෙක්. ඉතින් ඒ ඇමතිවරයාගේ අභාවය රටටත්, ජාතියටත්, පක්ෂයටත් විශාල පාඩුවක් වශයෙන් දකිනවා. එතුමා පක්ෂය වෙනුවෙන් කැපවෙලාම හිටියා. පිට පළාත්වලත් ලංකාව පුරාම එතුමා කටයුතු කළා. එයා සීමා වුණේ නැහැ එක පැත්තකට. පක්සෙකට නායකත්වයක් නැති වුනහම ඒක බලපානවා ඒ පළාතකටම” බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සඳහන් කරනවා.

රිය අනතුරකින් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසන් ගෞරව දැක්වුවා.

හිටපු ජනාධිපතිවරයා සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මහින්දානන්ද අලුත්ගමගේ මහතාද පැමිණ සිටියා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඇතුලූ දේශපාලනඥයින් කිහිප දෙනෙකු ද හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට අවසන් ගෞරව දැක්වූවා.

සනත් නිශාන්ත මහතාගේ දේහය මහජනතාවගේ අවසන් ගෞරව දැක්වීම සඳහා කොළඹ තැන්පත් කර ඇති අතර අද ඔහුගේ උපන් ගම වන පුත්තලම ආරච්චිකට්ටුව වෙත රැගෙන යාමට නියමිතයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා (28) ඔහුගේ උපන් නගරයේදී සිදුකිරීමට නියමිතය.

දරුවන්ට ආදරණීය පියෙකු අහිමි වීම

අධිවේගී මාර්ගයේ සිදුවූ මාරක රථ අනතුරකින් අමාත්‍ය සනත් නිශාන්තට දිවි අහිමි වනවා. 

සිද්ධිය ඇසින් දුටුවන් සඳහන් කරන්නෙ අමාත්‍යවරයාගේ රථය ඉදිරියෙන් ආ කන්ටේනර් රථයක ගැටී අනතුර සිදුව ඇති බවයි.

මෙම ඛේදනීය සිදුවීමෙන් පසු සමාජ මාධ්‍ය තුළ ද විවිධ පළකිරීම් දැකගත හැකි වන අතර, එක් තරුණයෙක් සඳහන් කර තිබුණේ අමාත්‍යවරයා තමාගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් පැමිණි බවත් ඒ ගමන ආපසු යන අතර අනතුර සිදුව ඇති බවයි.

සිය පියාගේ වියෝව දරා ගත නොහැකිව සනත් නිශාන්ත මහතාගේ දරුවන් තිදෙනා හඩා වැටෙමින් සිටින වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.

සනත් නිශාන්ත ඝාතනයක් දැයි සැකයක්?

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණය සම්බන්ධයෙන් බලවත් සැකයක් මේ වන විට මතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

ඔහු ස්වභාවික අනතුරකින් මිය ගියාද එසේ නැත්නම් සැලසුම් සහගතව ඝාතන කලාදැයි සැක බවත් ඒ මහතා පැවසුවා.

මියගිය සනත් නිශාන්ත සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල ඉතාමත් තුච්ච සටහන් පළ කරමින් සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයන් බවත් එනිසා මෙම සැකය වැඩි වශයෙන් දැනෙනා බවත් ඔහු තවදුරටත් කියා සිටියා.

සනත් නිශාන්ත මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පුත්තලයේ නිවසට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියා.

සනත් නිශාන්තගේ රියදුරුගේ දුරකතනය රහස් පොලීසියට – රියදුරා රිමාන්ඩ්

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා හා ඔහුගේ ආරක්ෂකයා මරණයට පත් කරමින් කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුර හේතුවෙන් එම රථය පැදවූ රියදුරාගේ ජංගම දුරකථනය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.

අදාළ අනතුර සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුත්තක් සඳහා විශේෂ පොලිස්‌ කණ්ඩායමක් විසින් මෙසේ එම දුරකථනය සිය භාරයට ගෙන ඇත.

රියදුරා මේ වන විට එළැඹෙන පස් වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරය ගතකර තිබෙනවා.

රියදුරා අනතුර සිදුවීමට පෙර දින ‘තම මරණය’ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබූ සටහනක් හේතුවෙන් මෙම දුරකථනය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ වන විටත් රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන එම රියදුරාගෙන් රහස් පොලීසිය විසින් ප්‍රකාශයක් ද සටහන් කරගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද සඳහන් කරන්නේ අදාල රියදුරා සමාජ මාධ්‍යවල පල කර තිබූ සටහනක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

සනත් නිශාන්තගේ හිස් වූ මන්ත්‍රීධූරයට එන නව මන්ත්‍රී 

හදිසි රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන්, හිස් වුණ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා ජගත් ප්‍රියංකර මහතා පත් වීමට නියමිතයි.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසන 05ක් හිමි විය.

එහිදී මනාප 80082 ලබා ගනිමින් සනත් නිශාන්ත එම දිස්ත්‍රික්කයේ පළමුවැනියා වූ අතර ප්‍රියන්කර ජයරත්න, අරුන්දික ප්‍රනාන්දු, චින්තක අමල් මායාදුන්න සහ අශෝක ප්‍රියන්ත අනෙක් ආසන හතර හිමි කර ගත් මන්ත්‍රීවරුන් වේ.

මනාප 40527ක් ලබා ගනිමින් එම ලැයිස්තුවේ හයවැනි ස්ථානය ජගත් ප්‍රියංකර මහතාහට හිමි විය.

ඒ අනුව, සනත් නිශාන්ත මහතා මියයාමෙන් හිස් වූ මන්ත්‍රී ධුරය සඳහා මනාප ලැයිස්තුව අනුව පත් වීමට නියමිතව ඇත්තේ ජගත් ප්‍රියංකර මහතායි.

කෙසේ වෙතත් ජගත් ප්‍රියංකර, විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරන අතර ජාතික නිදහස් පෙරමුණ මේ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් සිටීම තුළ ඉදිරියේදී කුමන තත්ත්වයක් ඇතිවිය හැකිදැයි බොහෝ දෙනෙකු තුළ කුතුහලයක් පවතී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: