hit counter

2025 දෙසැම්‍බර් මස 20 වන සෙනසුරාදා

2025 දෙසැම්‍බර් 21, පෙ.ව. 12:27



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ වන විට “නිවාස අඩස්සියේ” තබා ඇති බවත්, ඔහුට තම දරුවෙකු සමඟ හෝ කතා කිරීමට ඉඩ ලබා නොදෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. 

ආරක්ෂක අමාත්‍යාංශය හරහා මෙලෙස ඔහු පාලනය කරන්නේ ආණ්ඩුවේ අඩුපාඩු හෙළිවේ යැයි පවතින බිය නිසා බව ද ඔහු පැවසීය. 

ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරන ලද පිටු හතක වාර්තාවකට අනුව, පසුගිය මැයි 23 වනදා සිටම රතු නිවේදන නිකුත් කරමින් බලධාරීන් දැනුවත් කර තිබුණ ද රජය ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

පසුගිය කාලයේ විනාශකාරී විපක්ෂයක් ලෙස කටයුතු කළ පිරිසක් අද ආණ්ඩු බලය ගෙන ඇති බැවින්, වර්තමාන විපක්ෂයේ සාධනීය මැදිහත්වීම් පවා ඔවුන්ට විනාශකාරී ලෙස පෙනෙන බව දයාසිරි ජයසේකර මහතා පැවසීය. 

ආපදා නිසා මියගිය සහ අතුරුදන් වූ පිරිස පිළිබඳ නිවැරදි දත්ත ලබා දීමට පවා රජය අපොහොසත් වී ඇති බවත්, මරණ සහතික ලබා දෙන අවස්ථාවන් පවා ඡායාරූප ගනිමින් ප්‍රසිද්ධිය ලබා ගැනීමට රජය උත්සාහ කරන බවත් ඔහු විවේචනය කළේය. 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කටයුතු සඳහා විපක්ෂ නායකතුමා ඇතුළු පිරිස පූර්ණ සහයෝගය ලබා දෙන බව ද ඔහු මෙහිදී සඳහන් කළේය.

ව්‍යාපාරිකයන් සඳහා සහන ආපදාවෙන් පීඩාවට පත් කුඩා ව්‍යාපාරිකයන් සඳහා දැනට ලබා දෙන රුපියල් ලක්ෂ දෙකක මුදල ප්‍රමාණවත් නොවන බවත්, ඔවුන්ට යළි නැගී සිටීම සඳහා 7%ක් හෝ 8%ක අඩු පොලී අනුපාතයක් යටතේ සහනදායී ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දිය යුතු බවත් මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලා සිටියේය.

වෛද්‍ය බෙල්ලන මහතා ඉවත් කිරීමේ අර්බුදය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින දූෂණ සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, වෛද්‍ය බෙල්ලන මහතා සේවයෙන් ඉවත් කර ඇත්තේ 2022-2024 කාලසීමාවේදී සිදු වූ රුපියල් මිලියන 2500ක මූල්‍ය වංචාවක් පිළිබඳව අල්ලස් කොමිසමට පැමිණිලි කිරීම නිසා බව සඳහන් කළේය. මෙම වංචාව හෙළිවීම වැළැක්වීම සඳහා ඔහුව ඉවත් කර ඇති බවත්, මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස තමන් අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටින බවත් පාර්ලිමේන්තුව අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේය





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: