hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:45



ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකතනයෙන් ක්‍රිකට් විස්තර ප්‍රචාරක බ්‍රයන් තෝමස් මහතාගේ දුරකතනයට කෙටි පණිවිඩයක් යොමු වී ඇත්තේ ෂාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භූමියේදී අපරාධකරුවන්ගේ ගොදුරක් බවට පත් වීමෙන් අනතුරුව බව ඒ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් තිබෙනවා.

ඒ අනුව පැහැදිලි වී ඇත්තේ එම කෙටි පණිවිඩය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතකයා විසින් බ්‍රයන් තෝමස් මහතාගේ ජංගම දුරකතනයට යොමු කර ඇති බවයි.

එසේම කුරුඳුවත්ත මල්පාරේ පිහිටි සිය නිවසේ සිට ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා පසුගිය 15 වෙනිදා ගමන්ගත් මෝටර් රථය කෙළින්ම පැමිණ ඇත්තේ බොරැල්ල පොදු සුසාන භූමිය වෙත බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

දිනේෂ් ෂාෆ්ටර් මහතා සවස 2.06ට පමණ නිවෙසින් පිටත්ව ඇති බවත් නිවෙසින් පිටත් වීමෙන් පැය භාගයක් හෝ ඒ ආසන්න කාලයක් තුළ ඔහුට මේ අපරාධය සිදුව ඇති බවත් විමර්ශන තොරතුරු ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම් අනුමාන කරනවා.

දිනේෂ් ෂාෆ්ටර් මහතා සිය නිවෙසින් පිටත් වූ අවස්ථාවේ සිට ඔහුගේ ගමන්මඟ ආරක්ෂක කැමරා දත්ත විශ්ලේෂණය තුළින් කළ පරීක්ෂාවේදී ඔහුගේ මෝටර් රථය බොරැල්ල පොදු සුසාන භූමිය වෙත කෙළින්ම පැමිණ ඇති බව පෙනී ගොස් තිබෙනවා.

අතරමඟදී මෝටර් රථයට යම් පුද්ගලයෙක් ගොඩවූවාද නැතිනම් ඔහු යම් පුද්ගලයෙක් මුණගැසීමේ අපේක්ෂාවෙන් සුසාන භූමියට ගියේද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන පැවැත්වෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළා.

මෝටර් රථය සුසාන භූමියට ඇතුළු කර නතර කර තිබුණු ස්ථානයේ පිහිටීම නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ බොරැල්ල පොදු සුසාන භූමිය ගැන හොඳ අවබෝධයක් ඇති අයෙක් මේ අපරාධයට සම්බන්ධව ඇති බවයි.

දිනේෂ් ෂාෆ්ටර් මහතා සමඟ මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ආරවුලක් පවතින ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතාගෙ ජංගම දුරකතනයට දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකතනයෙන් ඔයා එනකම් මම ඉන්නවා යන අදහස ඇති කෙටි පණිවුඩයක් යොමු වී ඇත්තේ ද දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෝටර් රථය බොරැල්ල පොදු සුසාන භූමියට ඇතුළු කර තිබියදී බවද විමර්ශනවලින් පෙනී ගොස් තිබෙනවා.

බොහෝ විට එම පණිවිඩය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකතනයෙන් යොමු කර ඇත්තේ ඔහුව එම ස්ථානයට කැඳවා එම අපරාධය කළ පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම විසින් බවට සැකයක්ද ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

එම සැකය මතුවී ඇත්තේ එම කෙටි පණිවුඩය යොමුකර ඇත්තේ සවස 2.30න් පසුව වීම නිසායි.

මේ ඝාතන සැලසුම්කරුවන් උත්සහ ගත්තේ බ්‍රයන් තෝමස් මහතාව එම ස්ථානයට ගෙන්වා ඔහුව මේ අපරාධයට කොටුකරලීමට විය හැකි බවට සැකයක්ද මේ වන විට මතුව තිබේ. එම කෙටි පණිවිඩයට බ්‍රයන් තෝමස් මහතාද පිළිතුරු පණිවුඩයක් යොමු කරමින් “මට ඔයා එක්ක කිසි කතාවක් නැහැ. මට ඔයාව හම්බවෙන්න උවමනාවක් නැහැ” යන අදහස ඇති කෙටි පණිවුඩයක් ඉංග්‍රීසියෙන් යොමු කර ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

එසේ පණිවිඩ හුවමාරු වූ බ්‍රයන් තෝමස් සහ දිනේෂ් ෂාෆ්ටර් මහත්වරුන්ගේ ජංගම දුරකතන දෙක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන පරිගණක වෝහාරික පරීක්ෂණාගාරයට යොමු කර ඒ සම්බන්ධයෙන් බොහෝ තොරතුරු මතුකරගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරනු ලැබුවේ බ්‍රයන් තෝමස් මහතාගේ නිවසේ ඇති ආරක්ෂක කැමරා පද්ධතිය පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයකට ලක්ව ඇති බවයි.

එහිදී එම ඝාතනය සිදුවූ කාල වකවානුව තුළ බ්‍රයන් තෝමස් මහතා නිවෙසින් බැහැර ගිය බවට හෝ මේ අපරාධයට ඔහුගේ සම්බන්ධයක් ඇතැයි මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නැති බවද ඔහු පැවසුවා.

වසර තුනකට පමණ ඉහතදී ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයකු වූ බ්‍රයන් තෝමස්ට සභාපතිවරයා විසින් රුපියල් කෝටි 400කට ආසන්න මුදලක් ව්‍යාපාරික කටයුතු  සඳහා ලබාදී ඇති අතර එම ගනුදෙනුව සම්බන්ධයෙන් පැවැති මතභේදාත්මක තත්ත්වයක් මත සභාපතිවරයා විසින් එම බ්‍රයන් තෝමස්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉකුත් කාලය තුළදී පැමිණිලි තුනක් දමා ඇතැයිද දැනගන්න තිබෙනවා.

එකී මුදල් ලබාගත් බ්‍රයන් තෝමස් හමුවීම සඳහා යන බව බිරියට හා විධායක නිලධාරිවරයාට පවසමින් කුරුදුවත්ත  මල් පාර නිවෙසින් සභාපතිවරයා 15 වනදා දහවල් 1.30ට පමණ පිටත්ව ගොස් තිබූ බව පොලිසිය කියයි.

ඔහුගේ බිරිය මඳ වේලාවකදී ඔහුට දුරකථන ඇමතුම් ලබාගෙන ඇති අතර සභාපතිවරයාගේ දුරකථනය ක්‍රියා විරහිතව තිබී ඇති අතර බිරියගේ ජංගම දුරකථනයට ඔහු බොරැල්ල සුසාන භූමිය තුළ රැඳී සිටින බවට සංඥා ලැබී ඇතැයි පොලිසිය පැවසුවා.

වහා ක්‍රියාත්මක වූ සභාපතිවරයාගේ බිරිය සමාගමේ විධායක නිලධාරියකුට ඒ බව පවසා  බොරැල්ල සුසාන භූමිය වෙත එවා ඇති අතර  ඔහු පැමිණ කළ සොයා බැලීමේදී සභාපතිවරයා පැමිණි මෝටර් රථයේ රියැදුරු අසුන මත ඔහුගේ අත් දෙක ගැට ගසා ගෙලට වයරයක් දමා සිර කර තිබෙන අයුරු දැක තිබූ බව පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

ඒ වන විට සිහිසුන් තත්ත්වයකින්  සභාපතිවරයා පසුවී තිබුණු බැවින් වහා    ක්‍රියාත්මක වූ විධායක නිලධාරියා සුසාන භූමියේ කම්කරු සේවකයකුගේ උදවු උපකාර ඇතිව  සභාපතිවරයාගේ අත් දෙක සහ ගෙල තද වන ලෙස ගැටගසා තිබූ වයර් ඉවත්කර ඔහු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ බව පොලිසිය පැවසුවා.

ඒ වන විට සවස 5.15ට පමණ ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවැසුවා.

වෛද්‍යවරුන් දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසු සභාපතිවරයාට කෘත්‍රිම ශ්වසනය ලබාදීම සඳහා අවශ්‍ය උපකරණ සවි කර දැඩි සත්කාර ඒකක දෙක වෙත යොමු කළද අසාධ්‍ය තත්ත්වයේ පසුවූ සභාපතිවරයා කිසිදු ප්‍රකාශයක් නොකර පැය කිහිපයක් තුළදී පෙරේදා රාත්‍රි 10.30ට පමණ මියගිය බවත් රෝහල් ප්‍රකාශකයකු සඳහන් කර සිටියා.

මිය යන විට සභාපතිවරයා 51 වියේ පසුවන දෙදරු පියෙක්.

ඉතා සැලසුම් සහගතව සභාපතිවරයාව සුසාන භූමිය වෙත කැඳවා පිරිසක් එක්ව මෙම සාහසික අපරාධය සිදු කරන්නට ඇති බව   විමර්ශන කටයුතු සිදු කරන උසස් පොලිස් නිලධාරියකු පැවැසුවා.

දෑත් දෙපා ගැටගසා ගෙල සිරකර මරා දැමුණු ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනයේ මුල අනාවරණය කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම අරඹා තිබෙනවා.

ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කොට ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු ඒ ඔස්සේ විමර්ශන සිදුකරන බවත් ඉන් අනතුරුව ශාෆ්ටර් මහතාගේ බිරියගෙන්ද ප්‍රකාශයක් ලබාගන්නා බව ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසුවා.

රුපියල් කෝටි 400ක ගනුදෙනුවක් සම්බන්ධයෙන් තොරතුරු පොලිසියට ලැබී ඇති අතර ශාෆ්ටර් මහතා එම මුදල නැවත නැවත ඉල්ලා ඇති බවත් වාර්තා වී තිබෙනවා.

ඒ නිසා කොන්ත්‍රාත් ක්‍රමයට මොහු ඝාතනය කළේද යන්න සැකයක් පවතින බවද පොලිසිය කියයි.

කෙසේ වෙතත් ශාෆ්ටර් මහතාගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.

මැර කණ්ඩායම සිය රථය තුළදීම ශාරීරික හිරිහැරයකට ශාෆ්ටර් මහතා ලක්කර ඇති අතර මෝටර් රිය තුළම ඔහුගේ දෙඅත් ගැට ගසා ගෙල සිර කර ඔහු මරා දමා තිබුණා.

මේ අතර බොරැල්ල සුසාන භූමිය හා ඒ අවට මාර්ගවල සී.සී.ටී.වී. කැමරා නිරීක්ෂණය කිරීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති අතර බුද්ධි කණ්ඩායම්ද විමර්ශනවලට එක් කරගෙන තිබෙනවා.

එමෙන්ම උසස් පොලිස් නිලධාරියකු කීවේ බිරියගේ මානසික තත්ත්වය යහපත් අතට හැරුණු පසු ඇගෙන් ලබාගන්නා ප්‍රකාශය විමර්ශනවලට දැඩි පිටිවහලක් වනු ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇති අතර බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා යටතේද විමර්ශන සිදු කෙරෙනවා.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය ගෙල සිර කර  සිදුකළ  ඝාතනයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී යැයි බොරැල්ල පොලිසිය කියයි.

කොළඹ අංක 2 අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් සම්පත් ජයවර්ධන මහතාගේ නියෝග මත ජේ‍යෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරී රූල් හක් මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුවා.

අභිරහස් ලෙස ඝාතනයට ලක්වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු ඊයේ (18) සිදුකෙරුණා.

කෝටි ගාණක් දෙන්න මඟට එන්න කියලා ජනශක්ති සභාපති කනත්තෙදී මැරුවේ කවුද?

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: CCTV දර්ශන එළියට

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: හෝඩුවාවන් කිහිපයක් එළියට  

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: ඝාතනයට හේතුව එක්ක තවත් කරුණු රැසක් එළියට

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: සහෝදරයෙකුගෙන් ට්විටර් පණිවිඩයක්

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය පිටුපස ක්‍රිකට් වලට සම්බන්ධ අයෙකුත්

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය : සැමියා ගැන පළමු හෝඩුවාව බිරිඳගෙන්

ජනශක්ති සභාපති ඝාතනය : බොරැල්ල කනත්තේ කම්කරුවෙකු සියසින් දුටු දේ පාපොච්චාරණය කරයි





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: