hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 08, පෙ.ව. 11:27



දත්ත පරිශීලනය කිරීමේදී පෙට්‍රල් සහ ඩීසල් ආසන්න වශයෙන් රුපියල් 250ක මිලකට ශ්‍රී ලංකාව තුළ අළෙවි කළ හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ 2018, 2019 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (06) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී යි.

මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරමින් රත්නායක මහතා සඳහන් කළේ ඛනිජ තෙල් මිලදී ගැනීමේදී ඒවා ආනයනය කරන මිල ගණන් සහ රජය අයකරන බදු මුදල් පිළිබඳ සංඛ්‍යා ලේඛන නිවැරදිව පරීක්ෂා කිරීමේදී මේ බව හෙළි වන බවයි.

තෙල් මිල 200ට අඩුවෙන් දෙන්න පුළුවන්

ඒ අනුව පෙට්‍රල් සහ ඩීසල් දැන් ලබාදෙන මිලට වඩා රුපියල් 200 ක් අඩුවෙන් මෙරට තුළ අළෙවි කළ හැකි බව ඒ මහතා පෙන්වා දුන්නා.

මේ අනුව  ආසන්න වශයෙන් රුපියල් 250 ක් වැනි මිලකට පෙට්‍රල් සහ ඩීසල් මෙරට තුළ අලෙවි කළ හැකි බව සඳහන් කළ ඒ මහතා පසුගිය ජූලි 1 වැනිදා ගෙන්වන ලද ඩීසල් එක් ලීටරයක් සඳහා රුපියල් 280 ක බදු මුදලක් රජය අය කොටගෙන ඇති බව ද සඳහන් කළා.

මෙය තමන්ගේ පෞද්ගලික ප්‍රකාශයක් බවත්, දත්ත පරිශීලනය කිරීමෙන් පසුව එම ප්‍රකාශය සිදු කරන බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළා.

කොමිසමේ නිලධාරීන් දන්නේ නෑ

මේ අනුව මේ පිළිබඳ කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ දැනුවත් බව පිළිබඳ පැමිණ සිටි මන්ත්‍රීවරුන් විමසූ අතර ඒ පිළිබඳව මෙම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලය දැනුවත් නැති බව අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් පැවසුවා.

එසේම මේ පිළිබඳව මුදල් අමාත්‍යංශය විධිමත්ව දැනුවත් කිරීමක් සිදු කොට නැති බව ද මෙහිදී සඳහන් වුණා.

මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළේ තෙල් මිල සම්බන්ධයෙන් මෙම සභාපතිවරයා සිදු කරන ප්‍රකාශය වඩාත් බරපතල බවත් මේ පිළිබඳ රටේම අවධානය යොමු වන බවත්ය.

එබැවින් විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන් සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ගෙන්වා ඒ පිළිබඳ පරීක්ෂා කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව කෝප් කමිටු සභාපතිවරයා කියා සිටියා.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: