hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 9:44



බලශක්ති අමාත්‍යාංශය ඉන්ධන ආනයනයේදී වර්ෂයකදී රුපියල් මිලියන 699කට අධික මුදලක් එනම් ඇමරිකානු ඩොලර් මිලියනයකට අධික මුදලක් වැය කරන බව විගණන කර්යාලය පැවසුවා.

ඉන්ධන ආනයනයේදී කොළඹ වරායේ ඩොල්ෆින් ජැටියේ සිට කොළොන්නාව පර්යන්තය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරනු ලබන්නේ අවුරුදු 75කට වඩා පැරණි විශ්කම්භය අඟල් 10ක් වූ නළ පද්ධති 5ක් මඟින් බවත් අද වන විට කාන්දු වීම් හා දිරාපත් වීම් සහිත නළ පද්ධති 2ක් පමණක් භාවිතයට ගැනීම මෙයට හේතුව බවත් විගණන කාර්යාලය සඳහන් කළා.

මේ නළ පද්ධතිය ක්‍රිියාකාරී හා ඵලදායි ජීවිත කාලය ඉක්මවා තිබීම නිසා ඉන්ධන ගොඩබෑමේදී අවම පීඩනයකින් එනම් පැයකට මෙට්‍රික් ටොන් 200ක වේගයෙන් ගොඩබෑම සිදු කරන බවත් මෙට්‍රික් ටොන් 40,000ක නෞකාවක් ගොඩ බෑම සඳහා අවම දින 8ක් ගත වන බවත් විගණන වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

එසේම ඉන්ධන ගොඩබෑමේ කටයුතු සඳහා නෞකා සමාගම් ගිවිසුම්ගත වන්නේ උපරිම දින 04කට එනම් පැය 96කට යටත්ව නිසා එක් දිනකට ප්‍රමාද ගාස්තු ලෙස ඇමරිකානු ඩොලර් 18,000ක මුදලක් ගෙවීමට සිදු වන බවත් 2021 බලශක්ති අංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මඟින් පැහැදිලි කර තිබෙනවා.

ඒ අනුව ඉන්ධන ගොඩබෑම සඳහා එක නැවකට දින හතක් ගතවීම හේතුවෙන් දිනකට එක් නෞකාවක් සඳහා රුපියල් මිලියන 19කට වැඩිය මුදලක් වැය වෙන බවත් එක මාසයකට ප්‍රමාද ගාස්තු ලෙස පමණක් රුපියල් මිලියන 57කට අධික මුදලක් වැය කරන බවත් විගණකාධිපතිවරයා නිකුත් කර ඇති වාර්තාවකින් පැහැදිලි වෙනවා.

ඉන්ධන ප්‍රවාහන නළ පද්ධතියේ ගොඩබිම කොටසේ දිග මීටර් 5,750ක් වූ නළ මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් මිලියන 94ක් පමණ වැය වෙන බව තක්සේරු කර ඇති අතර මේ අලුත්වැඩියා කටයුතු 2022 වර්ෂයේ අවසන් කිරීමට නියමිතව ඇති බවත් බලශක්ති අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මඟින් පැහැදිලි කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: