hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 22, පෙ.ව. 9:30



වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයක් රට තුල ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාවක් ඇතැයි මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමියන් පවසයි.

තුන්කල් දක්නා නුවනින් වැඩකරන නායකයෙකු ලෙස රටේ වගකීම භාරගත් ජනාධිපතිවරයා නියත වශයෙන් ම රට ගොඩනගනු ඇති බවද උන්වහන්සේ සඳහන් කරනවා.

“දෙයක් වේ නම් සුදුස්සාට ම එය ලැබිය යුතු ය” යන වදන සනාථ කරමින් වික්‍රමසිංහ මහතා අද මේ රටේ භාරකාරත්වයට පත්ව, වෙස්වලාගත් ආශිර්වාදයක් සේ රට ගොඩනැගීමේ වගකීමට උර දී සිටින බව උන්වහන්සේ සඳහන් කළා.

ඊයේ (21) පෙරවරුවේ මිහින්තලා පුද බිම වෙත ගිය ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක සුව දුක් විමසූ අවස්ථාවේ කෙටි අනුශාසනාවක් කරමින් උන්වහන්සේ මේ බව පැවසුවා.

එහිදී අනුශාසනා කළ ආචාර්ය පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ,

“මේ මිහින්තලේ පුදබිම කියලා කියන්නේ මීට වසර 2330කට පෙර ධර්මාශෝක රජතුමාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නය වූ මිහිදු මහා රහතන් වහන්සේ සහ ශ්‍රී ලංකාවේ රජකම් කළ දේවානම් පියතිස්ස රජතුමා අතර පළමු රාජ්‍ය තාන්ත්‍රික හමුව සිදු වූ ස්ථානයයි. මෙතනින් තමයි භාරකාර සංකල්පය හඳුන්වලා දුන්නේ. නුඹට ඕන විදිහට දඩයම් කරන්න බැහැ. සත්තු මරන්න බැ පොළවේ, ජලයේ සහ ගුවනේ. එතන ආගම් බේදයකුත් නැ. ජාති බේදයකුත් නැ. පක්ෂ පාටත් නැ. එතකොට එතන තිබ්බේ භාරකාර සංකල්පය සියලු දෙනා ම ආරක්ෂා කරන්න ඕන. ඒ විතරක් නෙවේ ගහ කොළ, මද නළ මේ භූමිය සියල්ල ආරක්ෂා කිරීම භාරකාරත්වයට, නැත්නම් රජකම් කරන තැනැත්තාට අයිතියි කියලා මිහිදු මහ රහතන් වහන්සේ එදා කියලා දුන්නා. මිහිදු මහ රහතන් වහන්සේගෙන් පැවත එන ලාංකේය බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ලෙස අපි සතුටු වෙනවා, ආශිර්වාද කරනවා වසර 2330කට පස්සේ මේ රට භාර අරගෙන, එහි භාරකාරත්වය දරමින් ආශිර්වාද ලබා ගැනීම සඳහා අපේ ජනාධිපතිතුමා මෙතනට සම්ප්‍රාප්තිවීම පිළිබඳ. අපි එතුමාට ආශිර්වාද කරනවා. සුබ ප්‍රාර්ථනා කරනවා.

දෙයක් වේ නම් යම් සුදුස්සාට ම අයිති විය යුතු ය” කියලා තිබෙනවා හුණුවටයේ කතාවේ. එදා බොහෝ මාධ්‍ය, දේශපාලනඥයන් ඔබතුමාගේ චරිතය ඝාතනය කළා. දකුණට ගිහිල්ලා කියනවා ත්‍රස්තවාදියා කියලා, එහෙම කිව්වේ රට පාලනය කරපු පාලකයෝ. ඒ වගේ ම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ගණනාවකුත් තිබුණා. “රනිල්ට බැ” කියලා කියපු ඒ මතවාදය “රනිල්ට ජනාධිපති පදවිය ලබාදිය යුතුයි” කියලා කියමින් ම එදා අපේ මංගල සමරවීර මහත්තයා නිවැරදි කර ගත්තා. අනිත් කෙනා ශ්‍රීපති සූරියආරච්චි මහත්තයා. ඒ වගේ තව ත් බොහෝ අය ඉන්නවා. අවසානයේ අපි දන්නවා යුද්ධ දෙක තුනක් තිබුණා. 1989, එල්.ටී.ටී.ඊ ය එක පැත්තකින්. ජනතා විමුක්ති පෙරමුණ තව පැත්තකින්. ට්‍රාන්ස්පෝමර්, කර්මාන්ත ශාලා සියල්ල ගිනි තියනවා. අනිත් පැත්තතෙන් බෝම්බ පුපුරනවා. හැබැයි ඒ කාල වකවානුවෙත් මෙච්චර පීඩනයකට, මෙච්චර අසීරු තත්ත්වයකට රට වැටිලා තිබ්බේ නැහැ.

අද එක පැත්තකින් කොරෝනා වසංගතය, අතිත් පැත්තෙන් දේශපාලන අස්ථාවරත්වය. වර්ගවාදය, ඒ වගේ ම ආගම්වාදය, ජාතිවාදය මේ සියල්ල තිබෙනවා. අපි දන්නවා රටක් තිබුණට රටේ නීතියක් නැති වුණා අවසානයේ. පොලිසියේ වාහන පරීක්ෂා කරන්නේ මත්ද්‍රව්‍ය භාවිතා කළ අය. නීතිය අතට ගත්තා. පොලිසියට ගහන්න ගත්තා. අවි ආයුධ සොරාගත්තා. විවිධ දේවල් කළා. අවසානයේ දී වෙස් වලාගත් ආශිර්වාදයක් වගේ ඔබතුමා මේ රටට හොදක් කරන්න ඉදිරියට ආවා. ඔබතුමාගේ නිවස පවා රාජකීය විද්‍යාලයට ලියලා තිබෙනවා. ලෝකෙවත්, ලංකාවේවත් වෙන බිම් අගලක් ඔබ තුමාට නැ. ඒ තිබුණ ඒවත් විශ්ව විද්‍යාලවලට, ඒ ආයතනවලට පූජා කරලා තිබෙන්නේ. එහෙම පරාර්ථකාමී චරිතයක් තමයි අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා.

නිකන් නම් කන්න දෙන්න එපා. නිකන් කාපු ගමන් එනවා බැනර් එකක් අරගෙන. ඔය පාඩු ලබන ආයතන තියෙනවනේ. IOC එක කෝටි ගාණන් ලාභ ලබනවා කියලා පත්තරේ තියෙනවා. එතකොට සිපෙට්කො එක. අනිත් එක සංස්ථා ආයතන වලට සභාපතිවරුන් ඉන්නවා හරියට. නිලලත් හොරු. ඒවා හදන්න ඔබතුමා. බැරි කමක් නෑ. එහෙම හදලා ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා වගේ විශ්‍රාම දෙන්න. නාස්තිය දූෂණය පටන් ගන්නේ ප්‍රාදේශීය සභාවෙන්. දැන් දේශපාලනඥයෝම කියනවා. ජනතා විමුක්ති පෙරමුණේ අය කියනවා විසුරුවන්න කියලා. විසුරුවන්න මේ රටේ සල්ලි තියෙනවද? මොනවද මිනිස්සුන්ට තියෙන්නේ? කොච්චර සල්ලි යනවද? මේවා ඉවසන්න ඕනේ. දේශපාලනයේ දන්නේ නැති මිනිස්සු තමයි එහෙම කතා කරන්නේ. මේ 225ම තමා එකතු කරගෙන කරන්න තියෙන්නේ. පිටසක්වලින් ගේන්නේ නෑනේ. ඇමැතිකම් ගත්තට කමක් නෑ සුඛ විහරණය ඕනෙ නෑ. පරාර්ථ චර්යාවෙන් වැඩ කරන්න ඕනේ. ඉන්දියාවේ නම් මැති ඇමතිවරුන්ට කැබ් එකක් දීලා තියෙනවා. V8 දැක්කහම මිනිස්සුන්ට තරහ යනවා.

එතුමා කියන දේවල් මිනිස්සු හෑල්ලුවට ගත්තා පසුගිය කාලවල. විහිළුවට ලක් කළා. නමුත් අවසානයේ මේ බැරූරැම් අවස්ථාවේ කෝච්චියට බෙල්ලා තිබ්බා වගේ වැඩක් එතුමාට කරන්න වුණේ. අගමැතිකම ගත්තා, ජනාධිපතිකම භාරගත්තා. අනිත් සියලු දෙනාටත් ජනාධිපති ධූරය භාරගන්න එන්න කිව්වා. නමුත් කවුරුත් භාරගත්තේ නැහැ. මොනව කිව්වත් අවසානයේ රජකම ලැබෙන්නත් පින තියෙන්න ඕන. මේ ලංකාවේ භාරකරත්වය දරන්න, මේ උතුම් පූජනීය වස්තු දරන්න, විවිධ ආගම්, විවිධ ජාතීන් මේ සියල්ලේ භාරකරත්වය දරන්න ලැබීම වාසනාවක්. ඒ වගේ ම, ඔබතුමා රාජ්‍ය නායකත්වයට පත්වෙන්න පෙර සිට ම කුඩා අවධියේ සිට මේ මිහින්තලා ආලෝක පූජාවට සහභාගි වෙනවා. ඒ වගේ ම අගමැතිවරයෙක් විදියට අවස්ථා ගණනාවකදී මෙම ස්ථානයට පැමිණිලා ආලෝක පූජාවට සම්බන්ධ වූ කෙනෙක් තමයි ඔබතුමා. රජකම අරගෙනත් ඔබතුමා ඒක අමතක කළේ නැහැ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: