hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 04, පෙ.ව. 12:08



පාසල් දරුවන් ලක්ෂ 5කට ඉදිරි මාස 8 තුළ සබලකෘත සහල් (Fortified Rice)සහිත දිවා ආහාර වේලක් ලබාදීමේ වැඩපිළිවෙළ මේ මාසයේ ආරම්භ කිරීමට කටයුතු යෙදා තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය හා ලෝක ආහාර වැඩසටහන ඒකාබද්ධව 5 ශ්‍රේණියට පහළ ශ්‍රේණිවල දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට දිවා ආහාර වේලක් ලබාදීම මේ යටතේ සිදු කරයි.

මේ සබලකෘත සහල් දරුවන්ට ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ උත්සවය පසුගියදා කොළඹ රාමඩා හෝටලයේ දී පැවැත්විණි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර,සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ,ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ලෝක ආහාර වැඩසටහනේ මෙරට නියෝජිත අබ්දුර් රහීම් සිද්දික් මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

මේ වැඩසටහන සඳහා ලෝක ආහාර වැඩසටහන ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් කෘෂිකර්ම අමාත්‍යාංශයට රුපියල් මිලියන 108ක මුදලක් ලබා දී තිබේ.

පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් සහල්වලට යකඩ සහ ෆෝලික් අම්ලය මිශ්‍ර කර සකස් කරන සබලකෘත සහල් සැකසීම (Fortified Rice) මේ වනවිට ආහාර ප්‍රවර්ධන මණ්ඩලය විසින් ආරම්භ කර ඇත.

එම මණ්ඩලයට අයත් කලංකුට්ටිය සහල් මෝලේ සබලකෘත සහල් නිෂ්පාදන කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන බවයි පවසන්නේ.

මෙහිදී යකඩ සහ ෆෝලික් අම්ලය අඩංගු කර සකස් කරන ලද සබලකෘත සහල් අධ්‍යාපන අමාත්‍යාංශයට නිල වශයෙන් භාරදීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා අතින් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කුමාරි පිරිස්යාල මහත්මිය වෙත පිරිනැමීය.

අපේ රටේ පාසල් දරුවන්ගෙන් 15.3% ක් ඌන පෝෂණයෙන් පෙළෙන අතරම තවත් 7.3% ක් අධිපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව වාර්තා වී ඇති බවයි,මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා අවධාරණය කළේ.

‘ළමා පෝෂණය සම්බන්ධව පවතින සංඛ්‍යාලේඛන විවිධ මට්ටමෙන් පැවතිය ද රටේ ළමා ඌන පෝෂණයට බලපාන හේතු ගණනාවක් ඇති බව පෙනෙනවා.

ආර්ථික තත්ත්වය යහපත් නොවීම නිසා මව්පියන්ට දරුවන්ට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර ලබාදී‍මේ හැකියාවක් නැහැ.

මේ තත්ත්වය විශේෂයෙන් දරුවන්ගේ පෝෂණ මට්ටම් පහළ වැටීමට හේතු වී තිබෙනවා.

එමෙන්ම තවත් දරුවන් පිරිසක් අධිපෝෂණයෙන් පෙළෙනවා. ඒ වගේම පවතින අධ්‍යාපන ක්‍රමයේ අධිවේගී බව මෙන්ම දරු පරපුර මුහුණ දී සිටින අවිවේකී බව නිසා බොහෝ දරුවන්ට විධිමත් පරිදි ආහාර වේලක් ලැබෙන්නේ නැහැ.

උදේ සිට සවස් වනතුරු පාසලේ සිටින දරුවන් ඉන්පසු ටියුෂන් පන්තිවලට යනවා. රෑ වෙලා ගෙදර ආ විටත් සමහර දරුවන්ට ගෙදර ටියුෂන්වලටත් මුහුණ දෙන්න වෙනවා.

ඇතැම් දරුවන්ට මුළු දවසටම ලැබෙන ආහාර වේල එක්කෝ පැණිබීම බෝතලයක්. එහෙමත් නැත්නම් අධික සීනි සහිත කිරි පැකට් එකක්. එසේත් නැතිනම් පැණිරස ඩෝනට් එකක්.

මම සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැතිවරයාව සිටිය දී කොළඹ පාසල්වල කැන්ටින් ආශ්‍රිතව කළ සමීක්ෂණයක දී එක ජනප්‍රිය පාසලක ආපන ශාලාවේ දිනකට අලෙවි වන ඩෝනට් ප්‍රමාණය 3,500ක් බව වාර්තා වුණා.

මෙවැනි හේතු නිසා අවුරුදු 15, 16 දරුවෝත් අද දෙවන කාණ්ඩයට අයත් දියවැඩියාව වැනි බෝ නොවන රෝගවලට මුහුණ දී සිටිනවා.

එම නිසා මේ සබලකෘත සහල් මඟින් දරුවන්ට අවශ්‍ය පෝෂණය ලැබෙනු ඇතැයි සිතන අතරම මේ සහල් දරුවන්ගේ පරිභෝජනයේ දී ඔවුන්ව උනන්දු කරන්නේ ද යන්න පිළිබඳවත් අවධානය යොමු කරන ලෙස මම ආහාර ප්‍රවර්ධන මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා.

සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා-ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැඳින්වුවත් 48 අපි නිදහස ලබන විටත් එවකට සිටි ජනතාවට ප්‍රමාණවත් සහල් මේ රටේ නිෂ්පාදනය වුණේ නැහැ.

ඒ නිසා තමයි එවකට චීන රජය සමඟ සහල් – රබර් ගිවිසුමක් පවා අත්සන් කරන්න අපට සිදු වුණේ. කොහොම වුණත් මේ වනවිට අපට අවශ්‍ය සහල් අප රටේම නිෂ්පාදනය කෙරෙනවා.

අප රටේ නිපදවන්නේ නැති සහල් වර්ග කීපයක් පමණක් ආනයනය කරනවා.

සෞඛ්‍ය ඇමැතිවරයා වශයෙන් මම දකින ප්‍රධන කාරණයක් වන්නේ, පාසල් දරුවන් අතර මේ වනවිට පවතින ඌන පෝෂණ තත්ත්වයයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා- පසු කොවිඩ් සමයත් සමඟ අඩාල වු මෙරට ආර්ථිකය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාර්ගෝපදේශකත්වය යටතේ යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිගේ මාර්ගෝපදේශකත්වය යටතේ ආර්ථික ස්ථායීකරණය වැඩසටහන් ක්‍රියාත්මක වන අතර දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන් මෙන්ම අස්වැසුම ආදි සමාජ සුබසාධන වැඩසටහන් ඔස්සේ ද රටේ ආර්ථිකය සුබවාදී මාවතකට ගෙනයෑමේ විශේෂ අවධානයක් අප යොමු කර තිබෙනවා.

එමෙන්ම ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ දැක්මක් සහිත වැඩසටහන් රැසක්ද ක්‍රියාත්මක කර තිබෙනවා.

පෝෂණය යනු කෙනෙකුගේ බඩගින්න නීවීමක් නොවේ. එය විද්‍යාත්මක පදනමක් සහිත කරුණක්.සෞඛ්‍ය වර්ධනය සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදීම,සමාජ ප්‍රතිලාභ,සමාජ සුබසාධනය වැනි කරුණු පෝෂණය හා බද්ධ වී තිබෙනවා.

රට තිබූ තැනින් ඉදිරියට ගෙන යාම සඳහා යම් ආර්ථික ස්ථාවරත්වයක් අප ඇති කරගෙන තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිතුමන් පසුගිය අයවැයෙන් රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් සුබසාධක වැඩසටහන් රැසක් සඳහා මුදල් වෙන් කර තිබෙනවා’යැයිද කීය.

මේ අවස්ථාවට ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති පාලින්ද සාගර මහතා ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී වී සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: