hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 අගෝස්‍තු 23, පෙ.ව. 1:09



පාසල් පද්ධතිය තුළ 45,000 ක ගුරු හිඟයක් තිබියදී විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල වලට වසර පහකින් ගුරු සිසුන් බඳවා ගෙන නොමැති බවත් මේ නිසා ඉදිරියේ දී මෙරට ගුරු හිඟය තවත් බරපතළව අධ්‍යාපනය කඩා වැටෙනු ඇති බවත් ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තිය සංගමයේ ලේකම් සවනතිලක ගජධීර මහතා පවසනවා.

ගුරු සේවයට එක්වීමේ අපේක්ෂාවෙන් විද්‍යා පීඨ වලට ඇතුළු වන සිසුන් සඳහා රජය මාසිකව ලබා දෙන්නේ දිනකට රුපියල් 160ක් පමණක් බවත් මෙම මුදලින් සිසුන් තුන්වේල පිරිමසා ගත යුතුව තිබෙන බවත් කී ඒ මහතා මෙරට ප්‍රතිපත්තිමය තීන්දු ගන්නා පුද්ගලයින් එක් වේලකට වියදම් කරන මුදල දස දහසක්, විසි දහසක් පමණ වන අතර 4,500 වැනි සුලු මුදලින් සිසුන් මාසයක් ආහාර ගන්නේ කෙසේද යන්න සම්බන්ධව ඔවුන් දෙවරක් සිතා බැලිය යුතුව ඇතැයි ද අවධාරණය කළා.

මෙම පසුබිම තුළ ගුරු සිසුන්ට අද කනවා වෙනුවට ලෙව කෑමට සිදුව තිබෙන බවත් ළමුන් රැසකට මන්දපෝෂණය, යකඩ ඌනතාවය, ක්ලාන්තය ඇතුළු විවිධ රෝග නිසා දෛනිකව මෙම සිසුන් 10-15 ක් රෝහල් ගත කිරීමට සිදුවන බවත් අවස්ථා ඉහළ යමින් තිබෙන බවත් මින් බහුතරයක් ගැහැනු දරුවන් බවත් ඒ මහතා සඳහන් කළා.

වර්ෂ 2018 හා 2019 වසර වල උසස් පෙළ විභාගයට පෙනී සිට විද්‍යාපීඨ ගුරු විද්‍යාල වලට ඇතුළු වීමේ අපේක්ෂාවෙන් සිටින දස දහසක් පමණ සිසුන් වසර පහකට ආසන්න කාලයක් තිස්සේ නිවෙස් වලට වී සිටින බවත් මොවුන් බඳවා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයට නිසි වැඩපිළිවෙළක් නොමැති බවත් ඒ මහතා සඳහන් කළා.

මහනුවර දී ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවක දී ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළා.

කොවිඩ් සමයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ගුරු විද්යා පීඨ රැසක් යොදාගත් බවත් ඒවාහි මෙට්ට ගිනි තබා බොහෝ උපකරණ විනාශ කිරීමට සිදුවීම ඇතුළු විවිධ හේතු නිසා ඒවාහි භෞථික සම්පත් රැසක් මේ වනවිට විනාශ වී තිබෙන අතර  වැසිකිලි පද්ධති පවා උතුරා යමින් පවතින බවත් ගජධීර මහතා පැවසුවා.

ගුරු අධ්‍යාපනඥයින් ලෙස සේවයට එක් වන්නේ ගුරු සේවයේත් විදුහල්පති සේවයෙත් ගුරු උපදේශක සේවයේත් කටයුතු කිරීමෙන් පසුව බවත් එසේ නමුත් මේ වනවිට ගුරු අධ්‍යාපනඥයින්ගේ වැටුප ගුරුවරුන්ටත් වඩා පහළ කම්කරු වැටුපකට වඩා අඩු මට්ටමකට පත්ව තිබෙන බවත් මේ වන විට වැටුප් වර්ධක 12 ක් ප්‍රමාද බවත් කී ඒ මහතා මෙම වරද නිවැරදි කරන්නට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු නොකළ හොත් රට පුරා ගුරු විද්‍යාලවල අධ්‍යාපනය ලබන 5000 ක් පමණ දෙවන වසරේ සිසුන්ට අධ්‍යාපනය ලබාදීමේ කටයුතු වලින් ඉවත් වන්නේ යැයි අවධාරණය කළා.

තත්වය මේ ආකාරයෙන් පැවතිය දී රජය ගුරු විද්‍යාලය සඳහා ලබන මස තවත් සිසුන් 8000 කට ආසන්න සංඛ්‍යාවක් බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් දිවයින පුරා කථිකාචාර්යවරු 700 ම මෙම ක්රියාවලියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන බවද හෙතෙම පැවසුවා.

ගුරු සිසුන්ගේ අවසන් පරීක්ෂණ ලකුණු ලබා දී ඔවුන් ගුරුවරු ලෙස පත්වීම් ද ලබා තිබුණත් පිළිතුරු පත්‍ර ගාස්තු වසර දෙකක් තිස්සේ ගුරු අධ්‍යාපනඥ සේවා කථිකාචාර්යවරුන්ට ගෙවා නොමැති බවත් එම මුදල් අමාත්‍යංශයේ කවුරුන් හෝ මංකොල්ලා කා තිබෙන බවත් ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තිය සංගමයේ උප ලේකම් එස්.එම්. පී බණ්ඩාර මහතා සඳහන් කළා.                                                                 

පුහුණු ගුරුවරු මෙරට පාසල් පද්ධතියට එක් කරන ප්‍රධානතම ආයතන ගුරු විද්‍යාල හා විද්‍යාපීඨ ආචාර්යවරුන් හට ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයන්හි නිරතවනු ඇරෙන්නට ඇරෙන්නට වෙනත් විකල්පයක් නොමැති බවද ඒ මහතා පැවසුවා.

මෙම අවස්ථාවට සංගමයේ විධායක සභික හිරෝෂන් වාසමුදල සහ භාණ්ඩාගාරික රංජිත් පල්ලේවෙල යන මහත්වරුද සහභාගි වූවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: