hit counter

2024 මැයි මස 08 වන බදාදා

2022 නොවැම්‍බර් 27, පෙ.ව. 7:46



ඉන්දියාවේ දිල්ලි අගනුවර පොලිසිය විසින් 27 හැවිරිදි ශ්‍රද්ධා වෝල්කාර් නැමැති කාන්තාව ඇයගේ පෙම්වතා විසින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ශ්‍රද්ධා වෝල්කාර් පසුගිය මැයි මාසයේදී ඝාතනයට ලක් වී ඇති නමුත් ඇයගේ පියා විසින් ඇය අතුරුදන්ව ඇති බවට වාර්තා කිරීමෙන් පසු ඇයගේ මරණය අනාවරණය වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ශ්‍රද්ධාගේ හිස් කබල, ජංගම දුරකථනය, මිනීමැරීම සඳහා භාවිතා කළ අවිය තවමත් අතුරුදන් බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය මැයි 18දා ඇති වූ ගැටුමකින් පසු ඇයගේ ගෙල සිරකර මරා දැමු බවයි ඇයගේ පෙම්වතාවන අෆ්තාබ් අමීන් පූනාවල පවසා තිබෙන්නේ.

පසුව අෆ්තාබ් විසින් පසු දිනයේ අධිශීතකරණයක් සහ පිහියක් මිල දී ගෙන එම මළ සිරුරු කොටස් බහා තැබීමට ඔහු ලීටර් 300ක ශීතකරණයක් ද මිලට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

වල්කාර් සහ පූනවාලා මුම්බායි නගරයේදී ‘dating app’ එකක් හරහා මුණගැසී ඇති අතර පසුගිය වසර තුනක සිට එකට ජීවත් වූ බව පොලිසිය පවසයි.

මෙම වසර මුලදී ඔවුන්ගේ සම්බන්ධතාව අනුමත නොකළ වල්කාර්ගේ පවුලේ අය සමඟ ඇති වූ ආරවුලකින් පසු ඔවුන් දිල්ලියට ගොස් තිබෙනවා.

“යුවළ පදිංචිය වෙනස් කළ විගසම ශ්‍රද්ධා ඇයව විවාහ කර ගන්නා ලෙස එම පුද්ගලයාට බලපෑම් කිරීමට පටන් ගත්තා,” යැයි උසස් පොලිස් නිලධාරියකු වන අන්කිත් චෞහාන් ANI පුවත් සේවය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

“දෙදෙනා නිතර රණ්ඩු වෙලා තියෙනවා සීමාව ඉක්මවා යන තරමට. මැයි 18 වැනි දින ඒ මනුස්සයා කෝපයෙන් ඇයගේ ගෙල මිරිකා මරා දමලා” ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

වල්කාර්ගේ පවුලේ අය ඇය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කර ඇත්තේ, මාස කිහිපයකින් ඇයගෙන් ආරංචියක් නොලැබුණු බව ඇගේ මිතුරන් දැනුම් දීමෙන් පසුව බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

වල්කාර්ගේ පියාටද ඇයව සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ විට ඔහු මුම්බායි පොලිසියට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

සිය පැමිණිල්ලේදී ඔහු පූනවාලාට එරෙහිව ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් චෝදනා කර ඇති අතර “දුව ඇගේ මවට කතා කර අෆ්තාබ් ඇයට පහර දුන් බව පවසන” බවට චෝදනා කර ඇත්තේ.

වල්කාර් අවසන් වරට ප්‍රසිද්ධියේ ජීවත් වූ ස්ථානය දිල්ලි නගරය බවට සොයා ගැනීමෙන් පසු ඒ පිළිබඳ විමර්ශන දිල්ලි පොලිසිය වෙත මාරු කර තිබෙනවා.

එම යුවළ දිවි ගෙවූ දිල්ලි නුවර මෙහ්රාලි ප්‍රදේශයේ පිහිටි කුලියට ගෙන තිබුණු මහල් නිවාසයේදී පූනවාලා පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ ඝාතනයට ලක් වූ වල්කාර්ගේ සිරුරු කොටස් චතාර්පූර් එන්ක්ලේව්හි වනාන්තරවලට බැහැර කර ඇති බවයි.

ඔවුන් කුලියට ගෙන තිබුණු මහල් නිවාසයේ තිබී අස්ථි කොටස් කිහිපයක් ද සොයා ගත් බව පොලිසිය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සැකකරු මත්ද්‍රව්‍ය පරීක්ෂණයක් සඳහා භාජන කරන ලෙස අධිකරණය නියෝග කර ඇති බවයි.

ඩේටින් වෙබ් අඩවියකින් සහකරුවකු සොයාගෙන කවදා හෝ ඔහු සමඟ විවාහ වෙන්නෙමැයි සිතා එක වහලක් යට විසීමට ගිය ශ්‍රද්ධා විඳි දුක් ඇයගේ ආන්‍දෝලනාත්මක ඝාතනයත් සමඟ ඇයගේ සමීපතම යහළු යෙහෙළියන්ගෙන් එළියට එමින් තිබෙනවා.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ග්රාර්හි වෙසෙන ශ්‍රද්ධාගේ යහළු යෙහෙළියන් කියන්නේ අෆ්ටාබ්-ශ්‍රද්ධා යුවළ මුලදී බොහෝ ආදරයෙන් සිටියත් ඉක්මනින් සියල්ල නරක අතට හැරුණු බවයි.

ශ්‍රද්ධාගේ මිතුරකු වන රාජාට් ශුකුලා අනි නිවුස් (Ani News) පුවත් සේවයට කියන්නේ ශ්‍රද්ධාගේ ඝාතනය සම්බන්ධයෙන් ජංගම දුරකථනය මඟින් දුටු සිය හදවත දැඩි ලෙස කම්පාවට පත් වූ බවයි.

මුලින් හොඳින් හිටියත් පසුව අෆ්ටාබ් තමාට පහර දෙන බව ශ්‍රද්ධා කියූ බව රාජාට් පවසයි.

ශ්‍රද්ධාට අෆ්ටාබ්ගෙන් වෙන්වීමට අවශ්‍ය වුවත් එය කළ නොහැකිව සිටි බවද ඇයගේ ජීවිතය අපායක්ව තිබූ බවද රාජාට් පවසා තිබෙනවා.

පසුව මෙම දෙදෙනාගේම කැමැත්තෙන් දිල්ලිහි රැකියා සඳහා ගිය බවත් රාජාට් කියා තිබෙනවා.

දිල්ලි ගිය පසු ශ්‍රද්ධා සමඟ තිබූ රාජාට්ගේ සබඳතා බොහෝ සෙයින් බිඳවැටී තිබෙනවා.

ශ්‍රද්ධාගේ තවත් මිතුරකු වන ලක්ෂ්මන් නදීර් ද පල්ග්රාර්හි කෙනෙක්.

මාස දෙකකට පෙර ඇය තමාට ඇමතූ බව ඔහු කියයි.

නමුත් අගෝස්තු මාසයෙන් පසු ඇය තමා නොඇමතූ බවත් ඇයගෙන් තොරතුරක් නොවූයෙන් ඇයගේ සොහොයුරාට ඒ බව කියූ බවත් ඔහු කියයි.

මේ යුවළ බොහෝ සෙයින් රණ්ඩු සරුවල් කරගත් හෙයින් පොලිසියට යෑමට හිතුවත් ඇයගේ ගෞරවය සලකා එය අතහැරි බවත් ඔහු කියයි.

ඔවුන් දෙදෙනා අතර තිබූ රණ්ඩු සරුවල් කොතෙක්දුරට ගියාදැයි කියනවා නම් දිනක් රාත්‍රියේ තමාට කෙටි පණිවුඩයක් එවා තමා ආරක්ෂිත තැනකට රැගෙන යන ලෙස ශ්‍රද්ධා ඉල්ලා සිටි බවද නදීර් කියයි.

එදා රෑ ශ්‍රද්ධා මරන බවට අෆ්බාට් තර්ජනය කර තිබූ හෙයින් තමා ඇතුළු මිතුරන් මැදිහත්ව අෆ්බාට් හට අවවාද කොට ඇය මුදාගත් බවද නදීර් අනාවරණය කර තිබෙනවා.

එදින පොලිසිය වෙත නොගියේ පොලිසියට පැමිණිලි නොකරන්නැයි ශ්‍රද්ධා ඉල්ලා සිටි නිසා බවද ඔහු කියා තිබෙනවා.

ශ්‍රද්ධා මුහුණ දුන් ම්ලේච්ඡ ඝාතනය පිළිබඳව හද සසල කරවන තවත් කරුණක් හෙළිදරව් වී තිබෙනවා.

ඒ මීට වසර දෙකකට පෙර ශ්‍රද්ධා විසින්ම පොලිසියට ලියූ ලිපියක ‘අෆ්බාට් මාව මරාවි, මාව කෑලිවලට කපාවි’ යනුවෙන් සඳහන් කර තිබීමයි.

ඔහු මගේ හුස්ම සිරකර මරා දැමීමට උත්සාහ කළා. ඔහු මාව නින්දාවට පත් කරන බව කියමින් තර්ජනය කළා. මාව බය කළා. යනුවෙන් ඇය එම පැමිණිල්ල ලිඛිතව ඉදිරිපත් කර තිබෙනවා.

අෆ්ටාබ්ගේ මවුපියන් ඔවුන්ගේ පුතාගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම ගැන දැනුවත්ව සිටි බවටද එහිදී ඇය චෝදනා නඟා තිබෙනවා.

කෙසේ වුවද අෆ්ටාබ්ගේ මවුපියන්ද පොලිසියට කැඳවා ඇති අතර තවදුරටත් තමා සහ අෆ්ටාබ් අතර රණ්ඩු සරුවල් නැති බව පසුව ඇය පොලිසියේදී පිළිගැනීමෙන් කාරණය සමථයකට පත්ව තිබෙනවා.

ඇගේ එම ලිඛිත පැමිණිල්ලද මේ වනවිට එළියට පැමිණ තිබෙනවා.

ශ්‍රද්ධාට සාධාරණය ඉටු කර ගැනීමට පෙරට විත් සිටින ඇගේ පියා අෆ්ටාබ්ට මරණ දඬුවම දෙන ලෙස ඉල්ලා තිබෙනවා.

එසේම අෆ්ටාබ් මුස්ලිම් අන්තවාදී සංවිධානයක සාමාජිකයකු විය හැකිය යන සැකයද ඔහු විසින් මතුකර තිබෙනවා.

අෆ්ටාබ් කිසිදු දිනක ශ්‍රද්ධාගේ පියා සමඟ කතාබහ කර නොතිබිණි.

තරුණයෙක් පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාලා

පෙම්වතියව කෑලි 35කට කපා ඝාතනය කරන්න කලින් පෙම්වතා මිලදී ගත් දේවල් ගැන අනාවරණයක්

පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

පෙම්වතියව කෑලි 35කට කපා ඝාතනය කළ පාපතර පෙම්වතාගේ ඇඟ හිරිටැටෙන පාපොච්චාරණය

පෙම්වතියව කෑලි 35කට කපා කළ ඝාතනය ගැන තවත් පුවත් මැවෙයි





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: