hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූනි 08, ප.ව. 4:14



නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ආරම්භ කළ, සංවර්ධනය කළ සහ මුදල් වියදම් කොට දැනට අතරමග නැවතී ඇති ව්‍යාපෘති වහාම සාර්ථක කර රටට ආදායමක් ලැබෙන තත්ත්වයට පත් කරන ලෙස කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා එම අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ඒ් මහතා මෙම උපදෙස් ලබාදුන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ 2017 හා 2018 වර්ෂ වල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳව සාකච්ඡා කිරීමට එම අධිකාරියේ නිලධාරීන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට ඊයේ (07) කැඳවා තිබූ අවස්ථාවේදීය.

මෙහිදී අනාවරණය වූයේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති සහ අධීක්ෂණය වන ව්‍යාපෘති ගණනාවක් සාර්ථකව ලාබ ලබන තත්ත්වයක නොපවතින බවයි.

මේ අනුව හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය, මීතොටමුල්ල පුනර්ජීවන ව්‍යාපෘතිය, කර්මාන්තපුරයක් ඉදිකරීමට මිල්ලෑව වතුයායෙන් අක්කර 812 ක් පවරා ගැනීමට අදාළ ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නා.

විශේෂයෙන්ම හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති සැලැස්ම යටතේ රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදිකිරීම සඳහා වැය වූ මුදල පිළිබඳව සහ අයභාර වියදම් ලෙස මෙය පවත්වාගෙන යාම සඳහා 2017 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා වැයකර තිබූ මුදල පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා.

විශේෂයෙන්ම මෙහිදී සඳහන් වූයේ මේ සඳහා  2017 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා අයභාර වියදම් ලෙස රුපියල් 75,889,769 ක් වැයකර තිබූ බවත් මේ මගින් 2017 සිට 2019 දක්වා ලැබී තිබූ ආදායම රුපියල් 15,896,360 ක් බවත් ය.

මෙහිදී  නාගරික සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් සඳහන් කළේ මෙය හම්බන්තොට නගර සංවර්ධන සැලැස්මට අදාළ එක් අංගයක් බවයි.

නමුත් මෙම ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියේ සැලැස්ම ක්‍රියාත්මක නොවීම නිසා මෙම ව්‍යාපෘතිය සාර්ථක වී නැති බවද එම නිලධාරීන් පෙන්වා දුන්නා.

එසේම මෙය දිගටම පාඩු වී ඇති නිසා ආයතන දෙකක් සඳහා මෙහි කළමනාකාරීත්වය පැවරීම මගින් ලාබ ලබාගැනීමට කටයුතු කරන බවද ඔවුන් පැවසුවා.

තවද රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාව ඉදිකිරීම සිදු වූයේ විදේශ ආධාර යටතේ බවත් මේ සඳහා උපදේශන කටයුතු පමණක් නාගරික සංවර්ධන අධිකාරිය සිදු කළ බවත් පෙන්වා දෙන එම නිලධාරීන් මේ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සතු මුදල් වියදම් නොකළ බවද කියා සිටියා.

මෙහිදී කෝප් සභාපතිවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් සොයා බලා අදායම් ලබන තත්ත්වයට කටයුතු කරන ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: