hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 19, ප.ව. 3:07



මෙරටට ඉන්ධන ගෙන්වීමේදී ප්‍රිමියම් හරහා 2022 වර්ෂයේ මේ වනතෙක් පමණක් ඇමරිකානු ඩොලර් මිලියන හයක ගසා කෑමක් සිදුකර ඇති බවට හෙළිදරව්වක් සිදුකරමින් තෙල් බැරලයකින් සිදුවන ඩොලර් 20ක වංචාවට කාංචන විජේසේකර මහතා සම්බන්ධ නැත්නම් විගණකාධිපතිවරයා ලවා පාරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

ඒ මහතා ‘ජනතාව අපා දුක් විඳිද්දී, දේශපාලන මිනී කාක්කන් සිදු කළ, මහා හොරකම පිළිබඳ විශේෂ හෙළිදරව්ව, මැයෙන් සිදුකරනු ලැබූ මාධ්‍ය සාකච්ජාවට සම්බන්ධ වෙමින් මෙම මහා හෙළිදරව්ව සිදු කළා.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

මොකක්ද මේ ප්‍රිමියම් එක කියන්නේ? ප්‍රිමියම් එක කියන්නේ ප්‍රවාහන ගාස්තු, ඒ කියන්නේ ප්‍රේට් චාර්ජ් එක, රක්ෂණ ගාස්තු එක. ඒ වගේම ප්‍රධාන සැපයුම්කරුගේ ලාභය ඒ වගේම දේශීය ඒජන්තයාගේ ලාභය. මේ කියන සියලු දෙනාගේම එකතුව තමයි මූලික වියදමට අමතර වශයෙන් බැරලයකට ප්‍රිමියම් එක කියලා කියන්නේ.  ඒ අනුව විටාල් සිංගප්පූර් ආයතනය විසින් දෙදාස් විසි දෙකේ දෙවෙනි මාසේ දහඅට, දහනමය දිනවල ගෙන එන ලද ගැසොලින් අනූ දෙක, ඒ කියන්නේ පෙට්‍රල්  අනූ දෙක අනූපහ සඳහා බැරලයකට ප්‍රිමියම් ඩොලර් තුනයි දශම අටයි හතක් අය කරලා තියෙනවා මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ දහ අට, දහනමය ගෙනාපු ඒවාට. ඒ මොකද මේවා අපි දෙදාස් පහළව වගේ කාලේ මේවා ඩොලර් එකයි දශම පහක් වගේ තිබුනේ. නමුත් අපි වර්තමාන කාලයේ අපි දන්නවා මේ විශේෂයෙන්ම රක්ෂණ ගාස්තු සහ ප්‍රවාහන ගාස්තු වැඩි වුණා. ඒ අනුව මේක යම්කිසි සාධාරණ ගාණක්. ඒ වගේම ඩීසල් ගෙන්නලා තියෙනවා දෙදාස් විසි දෙකේ දෙවැනි මාසේ විසි හත, තුනයි දශම හතරක් හා හතරයි දශම එකක් බැරලයකට, අඩු සල්පර් වැඩි සල්පර්ප ගෙනල්ලා තියෙනවා. ඒ අනුව ඔය කියන පර්යේෂණ නිලධාරීන්ට ඒවා බලන්න පුළුවන්.

දැන් මෙහෙම ගිහිල්ලා, මාර්තු, අප්‍රේල්, මේ යනාදී වශයෙන් ගිහිල්ලා දැන් හත්වෙනි මාසේ එනකොට මොකක්ද එතකොට තත්වේ? මේ කොරල් එනර්ජි සමාගම ගෙන්නලා තියෙනවා ගෑස් ඔයිල් ඒ කියන්නේ. ඩීසල්, හත්වෙනි මාසේ දාහතර, පහළව තොගයක් කීයද? බැරලයට ප්‍රිමියම් එක ඩොලර් විසිපහයි. කලින් ඩොලර් තුනට, හතරට තිබිච්ච ඒවා ඩොලර් විසිපහයි. ඒ වගේම අයි ඕ සී ඉන්දියා ගෙනල්ලා තියෙනවා ගෑස් ඔයිල් එක ඩොලර් විසි එකයි දශම හයයි හයට. ඒ දෙදාස් විසිදෙකේ දාසය, දාහත. ඒ වගේම අර කලින් ගෙනාපු එක ගෙන්නලා තියෙනවා ගැසලීන් අනූප ඒ කියන්නේ පෙට්‍රල් අනුපහ ඒකේ ප්‍රිමියම් එක ඩොලර් විසි එකයි සත හතලිස් පහයි. දෙදාස් විසි දෙකේ හත්වන මාසේ දහඅට, දහනමය ගෙන්නලා තියෙනවා ගෑස් ඔයිල් එකක්, ඒ කියන්නේ ඩීසල්, ඩොලර් විසිනමයයි දශම අටයි පහකට. මේ මෑතදී ගෙනාපු, ඒ කියන්නේ ගෑස් ඔයිල් හයිසල්ෆර්. කොරල් ආයතනය, පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට කීයද දාලා තියෙන්නේ? බැරලය එක්සත් ජනපද ඩොලර් එකසිය හතළිස් හතරයි දශම අටයි, නවයයි දෙකයි. ඒ වගේම ප්‍රිමියම් එක, ඩොලර් විසි හතරයි. එක්කහු කලහම එකසිය හැට අටයි දශම අටයි, නමයයි දෙකයි.

එතකොට මේ සම්බන්ධයෙන් මම අද ගත්තා මේ සිංගප්පූර් ප්ලැට්ස් ප්‍රයිස්. සල්ෆර් ඩීසල්. හයි සල්ෆර්, ඩීසල් කීයද? ඩොලර් එකසිය විසි නමයයි. හැබැයි මෙතන කෝට් කරලා තියෙන්නේ කීයද? ඩොලර් එකසීය හතළිස් පහකට ආසන්න ප්‍රමාණයක්. ඒ වගේම ප්‍රිම්යම් එක, ඩොලර් විසි හතරයි. මේකෙන් පේන්නේ මොකක්ද? මෙතන බැරල් ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් ගෙනල්ලා තියෙනවා.ප්‍රිමියම් එකෙන් පමණක් ඩොලර් විස්සක් පමණ වැඩියි ඩොලර් මිලියන හයක් පමණ අතිරේක ලාභයක් ලැබිලා තියෙනවා. ඊට අමතරව මේ ඩොලර් එකසිය හතලිස් පහට කරපු නිසා එතනිනුත් සෑම බැරලයකටම ඩොලර් දාසයක පමණ මුදලක් ලැබෙනවා.

ඒ වගේම මේ තත්වයට මේ රට පත්වෙන්න ප්‍රධාන වෙච්ච ආයතනයක් තමයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව. මේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය වසරේ කෝප් සභාවට ආපු වෙලාවේ අපි ඇහුවා ඇයි ඕගොල්ලෝ මේ ඩොලර් බිල් ගෙවන්නේ නැත්තේ කියලා. ඩොලර් බිල් ගෙවන්නේ නැතුව, ඩොලර් බිලියන හතරකට අධික ප්‍රමාණයක් ලංකා බැංකුවට, මහජන බැංකුවට හිර කරලා, පහයි දශම පහ ගානේ පොළී ගෙවන්නේ ඇයි කියන එක. කවුද මේකට වගකිව යුත්තේ කියන එක. අන්න ඒකත් හොයන්න කියලා ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලනවා.

දෙදාස් විසි එක, විසි දෙක වසර වල බිල් ගෙවන්නේ නැතුව, ඩොලර් බිලියන තරක පමණ ණයක් කැටි ගහලා ඒ ණය ලංකා බැංකුවට, මහජන බැංකුවට ලබා දීලා ඒ ආකාරයෙන් රටට ඩොලර් හිඟයක් ඇති වෙන විදියට ප්‍රධාන බැංකු දෙක බංකොලොත් වෙන තත්වයට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තල්ලු කළේ කවුද කියන එක පිළිබඳව හොයන්න. මොකද රට බංකොලොත් භාවයට ඇද වැටෙන්න ප්‍රධානම හේතුවක් මේ විදිහට මේ  බැංකු ක්ෂේස්ත්‍රය අඩපණ වීමට මේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බිල් නොගෙවා ඩොලර් අති විශාල ප්‍රමාණයක්, බිලියන හතරක පමණ ප්‍රමාණයක් හිර කර ගැනීම.

ඒ වගේම අපි කියනවා තව පරීක්ෂණයක් කරන්න. පහයි දශම පහක් පොලිය වැඩියි කියලා. සීයට තුනේ පොළියට ගේන්න පුළුවන් කියලා කැබිනට් පත්‍රිකාවක් දාලා ග්ලෝබල් කොන්සෙප්ට් කියලා ආයතනයකට ඩොලර් බිලියන දෙකයි දශම හයක් ගේන්න යෝජනාවක් ගෙනාවා. ඒකේ තිබුණා එකක්. ඩොලර් මිලියන එකසිය හැත්තෑ පහක එකක්. සීයට හතක එකක්. මේ එක කාටද ගියේ කියලත් හොයන්න. අන්න එතකොට මේවයේ අගමුල ඔක්කොම මහජනයාට දැනගන්න පුලුවන් වෙයි. ඒ නිසා මේ ගැන විධිමත් පරීක්ෂණයක් විගණකාධිපතිවරයා හරහා කරන්න. ග්ලෝබල් කොන්සෙප් කියන එක බැලුවහම අන්තිමට රාජගිරිය පැත්තේ පුංචි තැනක් කියලා පාර්ලිමේන්තුවේ හෙළිදරව් වුණා. ඒ නිසා ඒ ඩීල් එක කරගන්න බැරි වුණා. හැබැයි ඒ ඩීල් එක වුණා. මේ ඇමතිවරයාගේ කාලයේ නෙවෙයි, ඊට කලින් වුණා. ඒ ගැන හොයලා බලන්න කියලත් අපි බලශක්ති ඇමතිවරයාට කියනවා.

අපි කාටවත් මඩ ගහන්න යන එකක් නෙවෙයි. මේ තරුණ ඇමතිවරයා අමාරුවේ දාලා රාජ පුත්තුන්ට පාර කපන්න යන ගමනක් නෙවෙයි. ඒ වගේම මේ ආණ්ඩුව අමාරුවේ දාන්න යන ගමනක් නෙවෙයි. සෑම පෙට්‍රල් ලීටරයකින්ම රුපියල් හතළිහක්, පනහක් මේ විදිහට ගසා කනවා නම් ඒක ඉතාම වැරදියි. ඒ නිසා මේවට හේතු මොනවද? මේවා මොන ආකාරයටද සිදු වෙන්නේ කියන එක පිළිබඳව විධිමත් ආකාරයේ පර්යේෂණයක් ඔය රහස් පොලිසිය හරහා උසාවි වලට මිනිස්සු දක්වලා, බය වද්දලා නෙවෙයි. කෙළින්ම විගණකාධිපතිවරයා හරහා කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියන එක අපි ඉල්ලා හිටිනවා. විගණකාධිපති විශේෂඥ සහය අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් මේ තෙල් ක්ෂ්ස්ත්‍රය පිළිබඳ දැනුම ඇති විශේෂඥයින්ගේ සහය ලබා ගන්න. ඒ සඳහා උදව් කරන්නත් අපි ලෑස්ති බව ප්‍රකාශ කරනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: