hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 14, ප.ව. 7:15



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන්ගේ දියණිය වන මාධවිගේ පෙම්වතා කසුන් මහේන්ද්‍ර හිනටිගල කියලා හැමෝම දන්නවා.

ඉතින් ජැක්සන් වෙනුවෙන් කසුන් පුවත්පතකට ලියූ ආටිකල් එකක් කසුන් සිය මුහුණුපොතට එකතු කරලා තිබුණා.

එම සම්පුර්ණ ලිපිය පහතින්,

කසුන් මහේන්ද්‍ර හීනටිගල ජැක්සන් ඇන්තනී මහතා වෙනුවෙන් ලියූ ලිපියකි

මාධවීගෙ මං ආසම පුරුද්දක් තියෙනවා එයා මට ආදරෙයි කියන විදියක්. එයා මගේ කන්පෙත්ත යට හෙමීට පිරිමදිනවා. ඒකට තැනක් නොතැනක් නෑ එයාට හිතුණද එයා ඒක කරනවා. දවසක් මං මාධවීගෙන් ඇහුව කොහෙන්ද ඔය මනස්කාන්ත පුරුද්ද ආවෙ කියලා. එතකොට මාධවී කියනවා ඒ පුරුද්ද ආවෙ අප්පච්චිගෙන්, අප්පච්චි හරි ආසයි ඒකට, ඒ අප්පච්චි ආදරෙයි කියන විදිය කියලා. ඒ තමයි ඇත්ත ජැක්සන් ඇන්තනී!

මාධවී අප්පච්චිට හා හා පුරා කියලා මං ගැන මුලින්ම කිව්වම අප්පච්චි කියලා තියෙන්නෙ “මනුස්සයා නියමෙට ලියනවා. ඒකා දක්ෂයෙක්” කියලා. මට තාම මතකයි ඒක මට කියද්දි මාධවීගෙ ඇස් දෙකේ පිරිලා තිබිච්ච සතුට. ඒක ඇත්තම ඇත්ත සතුටක්. අප්පච්චි නිතරම වගේ මගේ නිර්මාණ ඇතුළෙ මං කරන එක්ස්පරිමන්ට් බොහොම ආසාවෙන් අගය කරපු කෙනෙක්. ඔහු මගේ ගීත විචාර, කාව්‍ය විචාර වැඩසටහන් වෙනම වෙලාවක් අරන් සම්පූර්ණයෙන්ම නරඹලා ඒ ගැන ඔහුගේ අදහස් මාධවී එක්ක නිරන්තරයෙන් බෙදාහදාගෙන තිබුණා. ඒ වගේම අප්පච්චිට සිද්ධවෙච්ච ඒ දරුණු රිය අනතුරෙන් පස්සෙ ඔහු දරුවන් සමඟ පමණක් ජීවිතේ ශෙයා කරගත්තු රෝහල්ගත මුල් දවස් කිහිපයේ අප්පච්චිට ඇහෙන්න මාධවීට කියලා කියවගෙන තිබුණෙම මං ලියපු මාධවී ගායනා කරන ‘අපි තමයි අපිව දන්නේ’ ගීතයමයි. මමයි මාධවියි එකතු වෙලා කරපු ‘ප්‍රේමෙට සීමාවක් නෑනේ’ ගීතය රසවිඳින්න, ඒ ගැන අදහස් බෙදාහදාගන්න, අපිත් එක්ක එකට වාඩිවෙලා ඒ නිර්මාණය විඳගන්න අසනීප තත්ත්වය නිසා අප්පච්චිට බැරිවුණා. ඒක අපේ අවාසනාව!

ඔහු රෝහල්ගත කරපු මුල් මොහොතේ පටන් අවසාන මොහොත දක්වාම පවුලේ උපරිම උත්සාහය වුණේ අප්පච්චිව සුවපත් කරගැනීම පමණමයි. ඒ වෙනුවෙන් හැමෝම දිවා රෑ නොබලා මහන්සි වුණා , බලාපොරොත්තු දැල්වූවා වගේම ඔහු වෙනුවෙන් ආත්මීයව ඇපකැප වී සිටියා. සමාජ මාධ්‍යයන්හි, පෞද්ගලික වෛරී යූටියුබ් නාලිකාවන්හි රීච්ස් වැඩිකරගැනීම උදෙසා අතිශය වියරු නොමිනිසුන් කී කප්පරක් පට්ටපල් බොරු බව අද වනවිට ඔහුගේ මරණය ලෝකයට පසක්කොට තිබෙනවා. ඔහු වේදිකාවේ, නාලිකාවේ, පුංචි තිරයේ, රිදී තිරයේ උන්නා වගේම හරිම පෞරුෂවත් ලීලාවෙන් දෑස පියාගෙන ප්‍රේක්ෂකාගාරය දිහා බලාගෙන ඉන්නවා. රෝගියෙක් විදියට නෙමෙයි ජීවිතේ එක්ක හටන් කරපු ෆයිටර් කෙනෙක් විදියට!

අප්පච්චි රෝහල්ගතව උන්නු ඒ මාස කිහිපය පුරාවටම සියලු නින්දා අපහාස අවලාද දරාගෙන පවා මාධවී නිරන්තරයෙන් මට කිව්වෙ “අප්පච්චි කතා කරනවා හීනෙන් දැක්කා, අප්පච්චිට හොඳ වෙලා අපි කට්ටියම කොහෙද ගිහිල්ලා…” වගේ තනිකර සුදු සිහින ගැන. ඇගේ වචන සීයකින් අනූනමයක්ම අප්පච්චි අප්පච්චි අප්පච්චි… “මේ තමයි අප්පච්චි කන්න ආසම කෑම”, “මේ අඳින්න ආස විදිය”, “මේ ආසම සිංදු”, “මේ ආසම චිත්‍රපට…” කොහේ ගියත් ඇගේ ජීවිතේ අක්මුල් අප්පච්චි. ඉතිං එදා පටන් මේ වර්තමාන මොහොත දක්වාම මාධවීගේ පෙම්වතා හැටියට මගේ උවමනාව, අභිප්‍රාය, කාර්යභාරය වුණේම අප්පච්චිගෙ එකම දුව දහසක් වේදනාවන්ගෙන් පීඩා විඳිද්දි ඈට එක් සිනහවක් හෝ රැගෙන ඒමයි. අදටත් මගේ ලොකුම වැඩේ ඇගේ අතින් තදින් අල්ලන් ඈට හයියක්ව සිටීමයි.

ඔහුගේ වියෝව කලාකාරයෙක් හැටියට මට දනවන්නේ අතිශය දරුණු පශ්චාත්තාපයක්; වේදනාවක්; හිස්කමක්. ආයෙ ඒ ‘මහාර්ඝ ඉඩ’ සපිරෙන් නෑ වගේ රිදීමක්. විශේෂයෙන් අපේ මේ අහිංසක දුප්පත් දූපත් රටේ අතිශය සාමාන්‍ය පවුල් පසුබිමකින් ඇවිල්ලා කලා ලෝකයේ ගිරිමුදුනටම තමන්ගෙ දෙපා හයියෙන්ම නැගපු මිනිසෙක් තමයි ඔහු. ඒ ගිරි තරණ ගමනෙදි ඇනිච්ච කටු, වැදිච්ච ගල් මුල්, සීරිලා ලේ ගලන වේදනා, තරුණ වියේ නිදි නැතිව ගත කරපු දුප්පත්කම් සපිරි දිගු රාත්‍රීන් සියල්ල එකමිටට දරාගෙන අප්පච්චි අප්පච්චිගෙ ජීවන ගමනාන්තය ජයගත්තා. ඔහුට අවසන් ගෞරව දක්වන්න ආපු අසීමාන්තික ජනතාවක් අපි ඇස් දෙකටම දැක්කා. මං හොඳින්ම දැකපු දෙයක් තමයි අප්පච්චිට සමුදෙන්න ආපු බහුතරය මේ රටේ බොහොම සාමාන්‍ය පවුල්වල එදා වේල වෙනුවෙන් ජීවිතේම කැපකරපු මිනිස්සු ගැහැනු කියලා. සුප්‍රසිද්ධ සමාජ චරිතවලට වඩා අප්පච්චිගෙ දේහය සහිත භූමි ප්‍රදේශයන් පිරී ඉතිරී ගියේ අප්‍රසිද්ධ පුරවැසියන්ගෙන්. ඉතින් ඒ තමයි මනුෂ්‍යයෙකුට ලැබිය හැකි උපරිම බුහුමන, අවංක ආදරය. එකී ප්‍රේමය සදාතනිකයි!

ධරණී පුවත්පත (2023 ඔක්තෝබර් 18 වැනිදා)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: