hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 ජූනි 30, ප.ව. 12:37



අද, එනම් 2022 ජූනි 30 වන දින, පාර්ලිමේන්තු කාර්යභාරයන් වන ජාතික සැලසුම් සහ උපාය මාර්ග, ජාතික හා ගෝලීය මට්ටමින් ඉහළ විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සම්බන්ධයෙන් පිළිගන්නා පාර්ලිමේන්තුවාදය පිළිබඳ ජාත්‍යන්තර දිනය සමරමු. අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 129 වැනි සංවත්සරය ද සනිටුහන් කරමින් 2018 දී සම්මත කරන ලද යෝජනාවක් මගින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මෙම දිනය ප‍්‍රථම වරට ස්ථාපිත කරන ලදී. 1889 වර්ෂයේදී ස්ථාපිත කරන ලද අන්තර් පාර්ලිමේන්තු සංගමය යනු ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය, මානව නියෝජනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනාකම් සහ සමාජයක සිවිල් අභිලාෂයන්’ ප‍්‍රවර්ධනය කිරීම සඳහා ක‍්‍රියා කරන ගෝලීය සංවිධානයකි.

මෙම දිනය දේශපාලන නියෝජනය සඳහා වන ප‍්‍රමිතීන් ලෙස සලකන පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අද්විතීය සහ කල් පවත්නා ක‍්‍රමය තවදුරටත් ශක්තිමත් කරයි. පසුගිය වසරේ, එනම් 2021 දී, පාර්ලිමේන්තුවාදය පිළිබඳ ජාත්‍යන්තර දිනයේ තේමාව වූයේ “තරුණ සවිබල ගැන්වීම” වන අතර 2022 වසරේ තේමාව “මහජන සහභාගීත්වය” වේ. ‘පාර්ලිමේන්තුව’ යන වචනය ආරම්භ වන්නේ ප‍්‍රංශ වචනය වන ‘පාර්ලේ’ යන්නෙනි. එහි තේරුම ‘කතා කිරීම’ යන්නයි. මේ අනුව, මහජනතාව සමඟ කතාකිරීම සහ මහජන සහභාගීත්වය පාර්ලිමේන්තු පාලන ක‍්‍රමයේ මූලික පදනම වේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාදාමයක් සඳහා මහජන සහභාගීත්වයේ වැඩි උනන්දුවක් ඇති මෙවැනි අවධියක, සමාජයේ පවතින වත්මන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ආර්ථික කතිකාවට මෙවර ජාත්‍යන්තර පාර්ලිමේන්තු දිනයේ තේමාව මනා රැකුලක් වේ.

“පාර්ලිමේන්තු ක‍්‍රමය ගොඩනැගී තිබෙන්නේ ජනතා පරමාධිපත්‍යය මතයි. එබැවින් පාර්ලිමේන්තු ක‍්‍රමයේ සාර්ථකත්වය රඳා පවතින්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලිය තුළ එවැනි මහජන සහභාගීත්වයට පාර්ලිමේන්තු ක‍්‍රමය කෙතරම් හොඳින් ප‍්‍රතිචාර දක්වනවාද යන්න මතය.” පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ උප සභාපතිනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය පැවසීය.

“මහජනතාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කෙරෙහිද විශ්වාසය නැති වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ලෙස අප සැලකිලිමත් විය යුතුය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව එහි ප‍්‍රධාන අරමුණුවලින් එකක් වන සියලූම ජනතාවට විශේෂයෙන් වඩාත් අවදානමට ලක්විය හැකි අයට ප‍්‍රතිලාභ සැලසෙන ප‍්‍රතිපත්ති සහ නීති සැකසීම සහ ක‍්‍රියාත්මක කිරීම ඵලදායී ලෙස සාක්ෂාත් කර ගැනීමට අසමත් වන බව ප‍්‍රබල තර්කයක් විය හැකිය. එම ඉලක්කය සපුරා ගැනීම සඳහා, අපි මහජන කතිකාවක් සහ මහජනතාවගේ සහභාගීත්වය උපයෝගී කර ගත යුතු බව” පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ සාමාජිකාවක වන ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසීය.

පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ සාමාජිකාවක වන මංජුලා දිසානායක මහත්මිය සඳහන් කළේ,  “ඵලදායී සහ සාර්ථක වීමට නම්, පාර්ලිමේන්තු ක‍්‍රමය මහජන සහභාගීත්වය දිරිමත් කළ යුතු අතර, මහජනතාවගේ අවශ්‍යතා වඩා හොඳින් අවබෝධ කර ගැනීමට සහ ප‍්‍රමුඛත්වය දීමට සමානාත්මතාවය (equality) සහ ඇතුළත් වීමේ  (inclusivity) මූලධර්ම මත පදනම් විය යුතුය”.

පාර්ලිමේන්තුව  ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදයක මුලික පදනම වන්නේ එය හඬක් නැති අයට හඬක් දීමේ මූලික කාර්යභාරය ඉටු කළ යුතු බැවිනි. පාර්ලිමේන්තුවක ප‍්‍රධාන වගකීම් අතරට රටේ ප‍්‍රගතිය සහ ස්ථාවරත්වය සඳහා තිරසාර සහ තීරණාත්මක වන නීති සහ ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීම, නීතිගත කිරීම සහ ක‍්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම ඇතුළත් වේ.

රටේ විධායකය හෝ රජයේ වගවීම පිළිබඳවද පාර්ලිමේන්තුවට යුතුකමක් ඇත. ඒ අනුව, මහජනතාවගේ අවශ්‍යතා නියෝජනය කරමින්, විධායකය සතු බලය තුලනය කිරීම සඳහා සංවරණයක් ලෙසද එය ක‍්‍රියා කරයි. රජයේ වියදම් සඳහා අයවැය අනුමත කිරීමේ වගකීම පාර්ලිමේන්තුව සතු බැවින් රජයේ වියදම් පිළිබඳ සංවරණ සහ තුලන ක‍්‍රමයක්ද පාර්ලිමේන්තුව විසින් ක‍්‍රියාත්මක කළ යුතුය.

මේ අනුව, මෙම ආර්ථික අර්බුදය තුළ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට සහ එවැනි කාර්යභාරයන් සහ වගකීම් ඵලදායී ලෙස සාක්ෂාත් කර ගැනීමට භූමිකාවක් ඇත. එය අර්ථාන්විතව කිරීමට නම් මහජන සහභාගීත්වය අවශ්‍ය වේ.

“පාර්ලිමේන්තු ක‍්‍රමයක් තුළ වගවීමේ සහ විනිවිදභාවයේ වැදගත්කම සිහිපත් කිරීමට අප මෙම දිනය අවස්ථාවක් කර ගත යුතු යැයි මම විශ්වාස කරමි. මහජන කතිකාවෙන් ලැබෙන ප‍්‍රතිචාර උපයෝගී කර ගනිමින් පාර්ලිමේන්තුවට ස්වයං ඇගයීමක් කළ හැකි ක‍්‍රියාවලියක් සාක්ෂාත් කර ගැනීම සඳහා සංවාදයක් ආරම්භ කළ යුතු බව පාර්ලිමේන්තු කාන්තා සංසඳය පිළිගනී. පාර්ලිමේන්තුව ලබා ඇති ප‍්‍රගතිය මැන බැලීමටත් අභියෝග හඳුනා ගැනීමටත්, ජනතා හඬ වඩාත් නියෝජනය කිරීම සඳහා එවැනි අභියෝග ජය ගැනීමට උපාය මාර්ග සහ යාන්ත‍්‍රණයන් සැකසීමටත් මෙය ඉතා වැදගත් වනු ඇති බව” පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ සභාපතනිිය වන වෛද්‍ය සුදර්ශිනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.

“අර්බුද හමුවේ, අපගේ පාර්ලිමේන්තු ක‍්‍රමය අසාර්ථක වන්නේ නම්, අපි අපගේ පාර්ලිමේන්තුවේ භාවිතාවන් නැවත ඇගයීමට ලක් කළ යුතුය. එබැවින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීම සඳහා ඵලදායී උපාය මාර්ගයක් සැකසීමට මෙම දිනය අවස්ථාවක් කර ගත යුතු යැයි මම විශ්වාස කරමි” යැයි පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ සාමාජිකාවක වන තලතා අතුකෝරළ මහත්මිය පැවසීය.

පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ සාමාජිකාවක වන ඩයනා ගමගේ මහත්මිය පැවසුවේ, “මෙම දිනයේ අපි පාර්ලිමේන්තුව මඟින් නියෝජනය කරන ශ්‍රී ලංකාවේ ජනතාවට, විශේෂයෙන් වඩාත් අවදානමට ලක්විය හැකි ජනතාවට මම හඬක් වන බවටත්, ශ්‍රී ලංකාවේ ජනතාවගේ වර්තමාන අවශ්‍යතා පිළිබිඹු වන නීති සම්පාදනය කිරීමේ යාන්ත‍්‍රණයන් ආරම්භ කිරීමේදී මගේ කාර්යභාරය නොපිරිහෙලා ඉටු කිරීමටත් පොරොන්දු වෙමි.”

සියලු පාර්ලිමේන්තු, ක‍්‍රියාකාරී ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික පදනම වේ. ශ්‍රී ලංකාව තුළ, දේශපාලන නියෝජනයේ ගුණාත්මකභාවය මෙන්ම ස්ත‍්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය සහ සමාජීය ඇතුළත්භාවය සහතික කිරීම සඳහා හැකි සෑම දෙයක්ම සිදුකර මෙම ඉලක්කය සියලූම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සාක්ෂාත් කර ගනිමු.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: